Breaking News

ඩෙංගූ වැනසීමට උද්ඝෝෂණය කරමුද ? මදුරුවා වනසමුද ?

ශ්‍රී ලංකාව අසිරිමත් රටකි. එසේ කීවේ අපි නොවේ. අනාදිමත් කාලයක සිට දෙස් විදෙස් පර සතූරන් පවා කියූ කතාවක්ය ඒ. ඒ තරමට ලංකාව සුන්දරය, අසිරිමත්ය, පිරිපුන්ය. එසේ කීමට හේතූ කාරණා අවශ්‍යය. ප්‍රධාන වශයෙන් රටක් සුවිශේෂි වනුයේ ඒ රටේ මිනිසුන්ගේ ක්‍රියා පිළිවෙල අනුවය. එම රටේ ජීවත්වන ජනතාව හොඳ නම් ඒ රටද හොඳයයි කවුරුත් කියති. අපේ රටේ මිනිසුන්ගේ ආගන්තූක සත්කාරය, මානුෂීයත්වය මෙන්ම උගත්, බුද්ධිමත්කමද අති ඉහළය. ඒ බව අවට සමාජය සහතික කරනු ඇත. නමුත් මේ අතර මෙලෝ රහක් නොමැති පිරිස්ද සිටිති. ඒ ඕනෑම රටක ඇති සාමාන්‍ය තත්ත්වයයි. එය වලක්වාලීමට සමත් කිසිවකූ නොමැත. එවන් මිනිසුන් එළොවටත් නැත. මෙළොවටත් නැත.

අපි දැන් මාතෘකාවට එමු.
ඩෙංගූ යනු සමස්ත ජනතාවටම අභියෝගයකි. එල්ටීටීඊ ත්‍රස්තවාදයෙන් අපේ මිය ගිය ප්‍රමාණය කිසිදිනක ගණනය කළ නොහැක. ඒ සිදුවූ විනාශය ඒ තරමට අපමණය. මුළු මහත් ලෝකයාම ම්ලේච්ඡ ත්‍රස්තවාදය අවසන් කිරීමට අපට හැකියාවක් නැතැයි කීවද රටේ ජනතාවගේ එකමුතූකමත් ඒ සඳහා සමස්ත ජනතාව ත්‍රස්තවාදය අවසන් කළ යුතූ යැයි යන මතයට පෙළගැස්වූ බලවේගයත් නොසිටින්න අප තවමත් ත්‍රස්ත පීඩාවෙන් සිටින රටකි, ජාතියකි. නමුත් එකාමෙන් පෙළගැසී ඒ අභියෝගය අපි ජයගත්තේ මුළු ලෝකයටම පාඩමක් කියාදෙමිනි. එපමණක් නොව එකමුතූබවින් කළ නොහැක්කක් නොමැත යන්නද සනාථ කරමිනි. අපේ රටට අද වන විට ජාත්‍යන්තර අභියෝග රැසකට මුහුණ දීමට සිදුව ඇත. නමුත් රට තූළ සිටින අර මුලින් කියූ එළොවටත් නැති මෙළොවටත් නැති පිරිස රටට ද්‍රෝහීව තම කාර්යය කරති. ඒ අන්කිසිවක් නිසා නොව තම පැවැත්ම සහතික කර ගැනීමටය. එළොවටත් නැති මෙළොවටත් නැති එනම් තම ජාතකත්වය යළි යළිත් සනාථ කිරීමටය.

නැවත ඩෙංගූ කතාවට එමු..
ඩෙංංගූ මදුරුවාද ත්‍රස්තවාදියෙකි. කියුබාවේ ඩෙංගූ වසංගතය තූරන් කළේ අපි එල්ටීටීඊ ත්‍රස්තවාදය නිමා කල ආකාරයෙනි. එක පෙළකට සමස්ත ජනතාවම ඩෙංගූ මදුරුවාට එරෙහිව සටන් කළහ. ඒ පූර්වාදර්ශී රටවල කෙරුවාවය. ඩෙංගූ උවදුර මැඩලීමට කළ යුතූ වන්නේ ත්‍රස්තවාදයට මුහුණ දී පරාජය කළ ආකාරයටම ජාතියම එක පෙළකට ඒ සඳහා පෙළ ගැසීමය. ජාතියක් මුහුණ දෙන පොදු ගැටළුවකදී අපි වැඩ කළ යුතූ වන්නේ ජාතියක් ලෙස සිතා මිස තම තමන්ගේ ජාතකත්වය අනුව නොවේ. ලංකාව තූළ එසේ සිතා වැඩ කරන පිරිස හරිම අඩුය. නමුත් නිවැරදි කාර්යය කරන සුළු පිරිස ඉතා ඉක්මනින්ම ජයග්‍රහණය කරන බව අපි ත්‍රස්තවාදය නිමා කිරීමෙන් ලෝකයටම දුන් පණිවිඩයයි.

නැවත කතාවට එමු..
පසුගිය දිනක ප්‍රවෘත්තියක් දුටිමි. ඒ උද්ඝෝෂණයකි. වෙන කාගේවත් නොව. මේ රටට විමුක්තිය ලබා දීමට දස වධ විඳ තම ජීවිතය සතූරාට බිලි දුන් රටට අසීිමිත ආදරය කළ මිනිසුන්ගේ පක්‍ෂය වූ ජනතා විමුක්ති පෙරමුණේය. සතූරාට එරෙහිව එකමුතූ වී වැඩ කරන ආකාරය ලංකාවට පාඩම් කියාදුන්නේ ජවිපෙනි. ඒ 1971 අරගලයේදීය. නැවත 1989 දීත් ඒ පාඩම මෙනෙහි කර දුනි. සතූරා විමුක්තිය රිදී බන්දේසියක තබා ගෙනවිත් දෙන්නේ නැතැයි ජාතියට කීවේ ජවිපෙනි. තැන තැන කතා කර කර සිටිනවාට වඩා එකමුතූ වී අත්වැල් බැඳගෙන සතූරා පරාජය කළ හැකි බව ජනතාවට කියා දුන්නේ ජවිපෙය. ඒ ජවිපෙම අපිට ඩෙංගූ උවදුර තූරන් කිරීමට කියා දෙන්නේ වෙනස් පාඩමකි. ඔවුන් අපිට කියන්නේ ලිප්ටන් වටරවුමේ ඔවුන් සමග උද්ඝෝෂණයට එන්න කියාය. පාඩම වෙනස් වී ද ? විමසිල්ලෙන් බැලුවිට හඳුනාගත හැකි වන්නේ පාඩම වෙනස් වී නැති බවය. නමුත් පාඩම කියාදෙන ගූරුවරුන් වෙනස් වී ඇත. ඒ ගූරුවරුන්ගේ ජාතකත්වය අනුව ඒ පාඩම කියාදෙන බව පැහැදිළිය. කණගාටුවක් නැත. මන්ද ඒ ගූරුවරුන් උගත්තේ මෙවන් පාඩම් වන බැවිනි. එහෙයින් කියා දීමටද ඇත්තේ ඒ උගත් දේ අනුව වන නිසාය.
තවත් තැනක් දුටිමි. ඒ ඩෙංගූ මර්ධනය සඳහා මහා ශ්‍රම මෙහෙයුමකි. කැප්පෙටිපොල බලකාය ලෙස නම් කළ තරුණ පිරිසක් ගමත් පන්සලත් මූලික රකගනිමින් රාජ්‍ය ආයතන හා සම්බන්ධ වෙමින් ඩෙංගූ මදුරුවා වර්ධනය වන ස්ථාන විනාශ කරමින් පෙරට ගමන් කරමින් ඇත. ජාතික මෙහෙවරක මූලාරම්භය මෙය වනු නොවේද. සතූරාට එරෙහිව සටන් කළ යුත්තේ පොදු එකඟතාවයකිනි. පොදු අරමුණකිනි. තවද, ඩෙංගූ උවදුර මැඩලීමට කළ යුත්තේ ඩෙංගූ මදුරුවා බෝවන ස්ථාන විනාශ කිරීම මිස බෝඩ් උස්සාගෙන උද්ඝෝෂණය කිරීම නොවන බව ඕනෑම මෝඩයෙකූට තේරෙන කතාවකි.

නමුත් ජාතියට සතූරා පරාජය කිරීමට පාඩම් ඉගැන්වූ මිනිසුන් ඩෙංගූ මදුරුවාට එරෙහිව උද්ඝෝෂණය කරන විට කැප්පෙටිපොල තරුණ ව්‍යාපාරය ඩෙංගූ මදුරුවා වැනසීමට ජනතාව සමග ශ්‍රමදාන සංවිධානය කරයි. ත්‍රස්තවාදය පරාජය කිරීමට හැකි වුයේ ත්‍රස්තවාදය අවසන් කරව් කියා උද්ඝෝෂණය කිරීමෙන් නොව ත්‍රස්තවාදීන්ට එරෙහිව සමස්ත ජාතියම පෙලගැස්වීමෙනි. ආණ්ඩුව එල්ටීටීයට පහර දීමට රජයට ආයුධ නැතැයි කියූ විට අහවල් එකෙන් හෝ පහරදී ත්‍රස්තවාදය විනාශ කළ යුතූ යැයි රටට කියූ ජවිපෙ අද ඩෙංගූ උවදුරට එරෙහිව උද්ඝෝෂණය කරති.
සිදුවෙමින් පවතිනුයේ මහා විපර්යාසයකි.. ජනතාව ඒ දෙස බලා සිටී. ජනතාව තීන්දුව ගනු ඇත්තේ කාරණාව දෙස බලාය. ත්‍රස්තවාදය නිමා කල ආණ්ඩුවට ජනතාව මතක හිටින වරමක් දුන්නේය. ඒ වෙන කිසිවක් නිසා නොව ත්‍රස්තවාදයෙන් ජනතාව ඒ තරමට පීඩා විඳි නිසාය. ඩෙංගූ මගින් වැනසෙන්නේ අපේ රටේ ජනතාවය. ඩෙංගූ මර්ධන වැඩසටහනට ජනතාව ඒකරාශි වන්නේ ත්‍රස්තවාදය තරම් ඩෙංගූ වලින්ද ජනතාව පීඩා විඳින නිසාය. මදුරුවාට එරෙහිව උද්ඝෝෂණය කලාට මදුරුවා විනාශ නොවන බව ජනතාව දනී. ඒ උද්ඝෝෂණ පාලුවට ගොස් ඇත්තේ ඒ නිසාය. මදුරුවාට එරෙහි සටන කළ යුතූ වන්නේ මදුරුවා බෝවන ස්ථාන විනාශ කිරීමෙනි. ජනතාව ඒ මෙහෙයුමට තම ශක්තිය, ධෛර්යය ලබා දෙන්නේ ඒ නිසාය.

ඩෙංගූ උවදුර තූරන් කිරීමට කැප්පෙටිපොල බලකාය සමග හෙට දිනයේ ජාතියම අත්වැල් බැඳගනු ඇත. එමගින් පමණක් ඩෙංගූ උවදුර වලක්වා ගත හැකි බව ජනතාව දනී.කළ යුතූ දේ ජනතාව හොඳින් දනී. ජනතාව ඒ අනුව තීන්දු ගනු ඇත.

සටහන - ඉන්දික ප්‍රසාද් ගමගේ

No comments