Breaking News

ජාතිය


බොහෝ ඇමෙරිකානුවෝ සිරිතක් වශයෙන් තම නිවෙස් ඉදිරියේ ඇමෙරිකානු ජාතික කොඩිය ප්‍රදර්ශනය කරති. එහි පාසල් ළමුන් වැඩ අරඹන්නේ රටටත් ජාතික කොඩියටත් පක්‍ෂපාත වන බවට ප්‍රතිඥා දෙමිනි. නමුත් මෑතක් වනතුරුත් සාමාන්‍ය සිංහලුන් ජාතික කොඩිය ප්‍රදර්ශනය කළේ මඟුල් ගෙවල් වලදී පමණි. ඒද කොඩි ගහක නොව බෝධියේ කොඩි එල්ලන ආකාරයට සිංහයා උඩුබැලි අතට සිටවමින් කොඩි වැලකය. සිංහලුන් මඟුල් ගෙවල්වල ජාතික කොඩිය දමන්නේ ජාතිකත්වයක් ප්‍රදර්ශනය කිරීමට නොව යටගිය සිරිතකට අනුව තම සතුට සෞභාග්‍යය ලොවට කියා පෑමට විය යුතුය. පාසල් ළමුන් තබා අපේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්වත් පාර්ලිමේන්තු සැසිවාරයක් ආරම්භයේදී රටට ජාතියට පක්‍ෂපාත වන බවට ප්‍රතිඥා දෙනවාදැයි මම නොදනිමි. පැහැදිලිවම සාමාන්‍ය සිංහලුන් ජාතිය ගැන දරන ආකල්ප ලෝකයේ සෙසු ජාතීන් විශේෂයෙන්ම බටහිර ජාතීන් දරන ආකල්ප වලට වඩා වෙනස්ය. මේ වෙනස දකින බටහිර උගතුන් සිංහල කියා ජාතියක් ඇත්තටම ඇත්දැයි සැක පහල කරති. නමුත් සාමාන්‍ය සිංහලුන් කිසි පැකිලීමක් නැතිව ජාතිකත්වය මත ඡන්දය දෙන බව දකින ඔවුහු විසංවාදයක් ඇති කරගනිති. ඔවුන්ගේ අවුල ඔවුන් උගත් බටහිර දැනුමය.

සිංහල කියා ජාතියක් ඇත. නමුත් එය දැන ගැනීමට බටහිර දැනුම ප්‍රමාණවත් නොවේ.

ජාතියක් යනු මිනිස් සමූහයකි. කොයි ජාතියේත් පදනම පැවැත්මය. පොදුවේ අනිකුත් සතුන් මෙන්ම මිනිසුන්ද සමූහගත වන්නේ සිය පැවැත්ම උදෙසාය. නමුත් පැවැත්ම යනුවෙන් අවබෝධ කරගන්නා සංකල්පය ඒ ඒ සංස්කෘතියට අනුව වෙනස්ය. යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය තුල පැවැත්මට වාස්ථවික බවක් ලැබෙන අතර සිංහල බෞද්ධ සංස්කෘතිය තුල ඊට ලැබෙන්නේ සාපේක්‍ෂ බවකි. ඒ නිසා පැවැත්ම යන සංකල්පය මත පදනම්වී හැදෙන ජාතිය, ජාතික අනන්‍යතාව, ජාතික විඥානය වැනි සංකල්පද සංස්කෘතියෙන් සංස්කෘතියට වෙනස්ය.


සාපේක්‍ෂව පැවතීම යනු මම නිසා මම නොවන සෙසු ලෝකයත් මම නොවන සෙසු ලෝකය නිසා මමත් පවතී යැයි සිතීමය. ඒ අනුව සිංහල බෞද්ධ සංස්කෘතිය තුල මටත් සෙසු ලෝකයටත් එකිනෙකින් ස්වායත්තවූ වාස්ථවිකවූ පැවැත්මක් නැතැයි සැලකේ. සරලව ගතහොත්  සිංහල බෞද්ධ සංස්කෘතිය තුල පැවතිය හැක්කේ අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙක මත යැපෙන දෑට පමණි. එහි මිනිසුන් ගොනු වෙන්නේ සාපේක්‍ෂ පැවැත්මක් ආරක්‍ෂා කරගන්ටය. පවුල සාපේක්‍ෂ පැවැත්මක් ගොඩනඟා ගත හැකි ශක්තිමත්ම සහ කුඩාම ඒකකය වේ. පවුලේ අය පවුලක්ව සිටින්නේ ඔවුන්ගේ පැවැත්ම සඳහාය. පවුල්වල පැවැත්ම සඳහා ඥාති සම්බන්ධකම් මත පදනම්ව පවුල් ගණනක් එක්වී ව්‍යාප්ත පවුලක් සදා ගැනේ. මේ ආකාරයට ව්‍යාප්ත පවුල් එකතුවී සැදුනු වරිගත් වරිග එකතුවී සැදුනු ගෝත්‍රත් එකල හෙළ සමාජයේ තියෙන්නට ඇති. පොදුවේ ගත්විට කුඩා මිනිස් සමූහ ඊට වඩා ලොකු සමූහයන්හි බහාලන්නේ කුඩා සමූහවල සාපේක්‍ෂ පැවැත්ම ආරක්‍ෂා කර ගැනීම සඳහාය. සමූහ විශාලවෙත්ම එය පවත්වාගෙන යෑම සඳහා ඇවැසි නිර්ණායකයන් බරපතල වේ. ඒ අනුව ජාතිය යනු එහි සාමාජික සමුහයන්ගේ පැවැත්ම සඳහා ගොඩනඟාගත හැකි විශාලතම සමූහය ලෙස හැඳින්විය හැකිය. ජාතියක පැවැත්ම සඳහා එහි රටේ භෞමික අඛන්ඩතාවත් රාජ්‍යයේ ස්වාධීනත්වයත් අත්‍යාවශ්‍යය.



සිංහල ජාතිය ගොඩනැඟී ඇත්තේ මේ ආකාරයට කුඩා ජන සමූහ ක්‍රම ක්‍රමයෙන් වඩා ලොකු සමූහවල බහාලීමෙනි. මුලින් පවුල් සම්බන්ධකම් පදනම්ව ගොඩනැඟුනු මේ ජන සමූහ ආර්ය සංස්කෘතියේ බලපෑමත් සමඟ ගම වැව පංසල වැනි ආයතන පදනම් ඇතිවෙන්නට ඇතැයි සිතිය හැකිය. ජන සමූහ වල සංයුතිය කලින් කලට වෙනස් වෙන්නට ඇතත් සිංහල ජාතියේ පදනම වී ඇත්තේ ක්‍රමයෙන් පහල සිට ඉහලට ගොඩනැඟෙන ජන සමුහවල (බහාලුම්වල) එකතුවකි. ඒ හැම බහාලුමක් තුලම එහි සාමාජිකයින් අතර අන්‍යෝන්‍ය සම්බන්ධ කමක් පැවතීම එහි වැදගත් ලක්‍ෂණයකි. උදාහරණයක් වශයෙන් ගෝත්‍රයක වරිග අතරත් වරිගයක් තුල එහි පවුල් අතරත් සාපේක්‍ෂ පැවැත්මක් තියෙන්නට ඇතැයි සිතිය හැකිය. මේ අන්‍යෝන්‍ය සම්බන්ධකම එසේත් නැත්නම් සාපේක්‍ෂ පැවැත්ම නිසා ඒ ඒ මට්ටම (බහාලුම) තුල සියලුදෙනාගේ කැමැත්තට අනුව නැත්නම් මහා සම්මතවාදයට අනුව කටයුතු කිරීමට හැකියාවක් තිබිනි. හෙළයේ රාජ්‍ය බලය බෙදී ගියේද ජන සමුහවල (බහාලුම්වල) ආකෘතියට අනුවය. රාජ්‍යය මඟින් සිදුවූයේ සමාජයේ ඉහලින්ම පැවති ජන සමූහ නැත්නම් බහාලුම් එක් කිරීමය. රට එක් සේසත් කිරීම යනු එයයි. සිංහලුන් තම ජාතිය ගොඩනඟාගත් ආකාරයත් ඔවුන්ගේ පරිපාලණ ක්‍රමයත් සමපාත වූ නිසා එකල ඔවුන්ගේ රාජ්‍යයන් ප්‍රභල වන්නට ඇත.



සිංහලුන්ට ජාතික විඥානයක් ඇතිවන්නේ පහල සිට ඉහලට ඔවුන් ගොඩනඟා ගන්නා මිනිස් සබඳතා මතය. ඒ නිසා පුද්ගලයෙකුට තමන් සිංහලය යන හැඟීම ගෙනදෙන්නේ ක්‍රම ක්‍රමයෙන් පවුලට වර්ගයට ගෝත්‍රයට හෝ ගමට පළාතට රටට ඇති සම්බන්ධතාව හරහාය.



යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය තුල පුද්ගලයින්ගේ ස්වාධීනවූ වාස්ථවිකවූ පැවැත්මක් දකී. ඒ නිසා පුද්ගලයා සමාජයෙන් වෙන්කිරීමක් සිදු කෙරේ. එහි ජාතිය ගොඩනැඟෙන්නේ මෙසේ වෙන්කෙරුනු පුද්ගලයින්ගේ පැවැත්ම උදෙසාය. වෙන් කෙරුනු පුද්ගලයින් ජාතිය සමඟ සම්බන්ධ වන්නේ තනි තනිව සෘජුවමය. ඒ නිසා සිංහලුන්ට මෙන් නොව බටහිරුන්ට ජාතික අනන්‍යතාවක් ජාතිය පිලිබඳ හැඟීමක් ඇතිවන්නේ ඔවුන්ගේ අනිකුත් සමාජ සම්බන්ධකම් වලින් ස්වාධීනවය. ඒ නිසා බටහිරුන්ගේ ජාතිකත්වය සෘජුය, සරලය හඳුනාගැනීමට පහසුය. එය මතු පිටින් පෙනේ. නමුත් වෙන්ව සිටින විවිධ පුද්ගලයින් විශාල සංඛ්‍යාවක් එකම සමූහයක තබා ගැනීම බරපතල කාර්යයකි. ඒ නිසා බටහිර රටවල් සංස්කෘතියෙන් සමජාතීවීම අනිවාර්යවේ. ජාතික කොඩිය ජාතික ගීය වැනි භෞතික ලාංඡන බටහිර රටවලට අවශ්‍යය වන්නේ තනි පුද්ගලයින් ජාතියට බැඳ තබා ගැනීම පහසු කෙරවීමටය. සිංහලුන්ට මේ ලාංඡන එතරම් අදාල නොවන්නේ ඔවුන් ජාතියට බැඳෙන්නේ පහල සිට ඉහලට දිවෙන සංකීර්න සමාජ සම්බන්ධකම් ඔස්සේ බැවිනි. ඒ නිසා බටහිරුන් ජාතියට බැඳෙන ආකාරය දෙස බලා සිංහලුන්ට ජාතියක් නැතැයි කීම වැරදිය.



අද සිංහල ජාතිය පීඩනයකට ලක්වී සිටී. යටත් විජිත යුගයේ පවා මෙතරම් පීඩනයක් නොතිබිනැයි මම සිතමි. ඊට හේතුව සිංහල ජාතියේ පදනමවූ එහි මිනිසුන්ගේ සාපේක්‍ෂ පැවතීමට අද බටහිර සංස්කෘතියෙන් පෙර නොවූ තරම් විශාල තර්ජනයක් එල්ලවන බැවැනි. සාපේක්‍ෂ පැවත්ම සිංහලුන්ගේ ගතියය. ඔවුහු තමා අවට ලෝකයෙන් භෞතිකවත් ක්‍රියා කාරකම් තුලිනුත් වෙන් නොවී තම ජීවිතය ගෙන යති. ඔවුහු නම්‍යශීලීද වෙති. ඔවුහු පරිසරයට සතා සිව්පාවුන්ට අනිසි බලපෑමක් නොකර ජීවත් වෙන්නට දනිති. නමුත් මේ ගති අද අපට නැත. මේ ගති නැතිව අපට සාපේක්‍ෂව පවතින්නට නොහැකිය. සාපේක්‍ෂව නොපවතිනවිට සිංහල ජාතියට පැවැත්මක් නැත. සිංහල ජාතිය ආරක්‍ෂා වෙන්නේ මේ සිංහල ගති පවත්වාගෙන යන්නට හැකි තාක් පමණි. 1815 දී සිංහල නායකයින් රාජ්‍ය බලය ඉංග්‍රීසීන්ට පවරා හෝ සිංහල ගති ආරක්‍ෂා කරගන්ට තැනුයේ මේ නිසා විය යුතුය. ලංදේසීන් පෘතුගීසීන් තරම් සිංහලුන්ට පීඩා නොකලහ. නමුත් ලංදේසි සමයේ සිංහලුන් වැඩි වැඩියෙන් බටහිර ගති වලට ඇබ්බැහි වූහ. ලංදේසි පාලනය ඉඟුරු දී මිරිස් ගත්තාක් මෙන් ජාතියට විනකර වූයේ ඒ නිසා විය හැකිය. වාස්ථවික පැවැත්මක් ගැන විශ්වාස තබන බටහිර දැනුමේ ආධිප්‍යය හමුවේ අද අන් කවරදාකටත් වඩා වේගයෙන් අපේ ගති අපෙන් ගිලිහෙමින් පවතී. ජාතියේ පැවැත්මට ඊට වඩා තර්ජනයක් තිබිය නොහැකිය.



සිංහලුන්ගේ සාපේක්‍ෂ පැවැත්ම යනු ඔවුන්ගේ ගති පවත්වාගෙන යාම යැයි කිව හැකිය. නමුත් අපි ජාතිය යැයි ආරක්‍ෂා කර ගන්නට තනන්නේ වාස්ථවිකවූ කාලයේ නොවෙනස් වන දෙයක් නොවේ. සිංහල ජාතිය කාලයේ වෙනස් වේ නමුත් කාලය අපිට චක්‍රීය වේ. චක්‍රීය බව යනු අපි අතීතය පිලිබඳ දැනුම තුලින් අපේ අනාගතය නිර්මාණය කර ගන්නා අතරම අනාගතය පිළිබඳ බලාපොරොත්තු ඇසුරෙන් අතීතය නිර්මාණය කර ගැනීමය. ඒ නිසා අතීත කථා සිංහලුන්ට වැදගත්ය. අද සිංහලුන් හෙළ ඉතිහාසයක් ගැන සොයමින් නව වංශකථාවක් ලියන්නට උනන්දුවන්නේ ඒ නිසාය. එය හොඳය. ඉතිහාසයේ විවිධ අවස්ථාවල අපි අපේ ඉතිහාසය නැවත ලියා ගන්නට ඇති. අපි ජාතියක් වශයෙන් පවතින්නේ නිරන්තරයෙන් වෙනස්වන අතීත-අනාගත සහ සම්බන්ධය තුලය. අපේ පැවැත්මට වඩා වටින්නේ අතීතය හා අනාගතය අතර සහ-සම්බන්ධතාවක් ඇති කර ගැනීම මිස වාස්ථවිකවූ යම් නොවෙනස්වන දෙයක් රැක ගැනීම නොවේ. වංශකථා වලින් කෙරෙන්නේ ජාතියට නව භවයක් අත් කරදීමය. නමුත් අතීත කථා අපට වැදගත් වෙන්නේ ඒ තුලින් අපේ අනාගතය නිර්මාණය කර ගන්නේ නම් පමණි. ඉතිහාසය ජීවමාන ඉතිහාසයක් වෙන්නේ එවිටය. මහානාම හිමියන් මහාවංශය ලියන්නට ඇත්තේද අනාගතය ගැන බලාපොරොත්තු ඇති කර ගනිමින් යැයි සිතිය හැකිය. ඒ නිසා අද අපි හෙළ ඉතිහාසය සොයමින් හෙළවංශයක් නිර්මාණය කරන්නේ නම් එය කල යුත්තේ හෙළ ගති නැවත ජාතිය මත පිහිටුවා බටහිර සංස්කෘතික ආධිපත්‍යයෙන් මිදෙන්නේ කෙලෙසද යන ප්‍රශ්ණයට පිළිතුරක් සපයමිනි. රාමායනයේ කුමක් කියා තිබුනත් හෙළවංශයේ රාවණ නිවනට මඟ අසා දැන සිටි අයෙක් විය යුතුය.



සිංහලුන් දකින්නේත් පතන්නේත් සාපේක්‍ෂ පැවැත්මකි. සිංහල ජාතිය ආරක්‍ෂා වන්නේ ඔවුන්ගේ ගති අරාක්‍ෂා කිරීම තුලිනි, අතීතය අසුරින් අනාගතය දැකීම තුලිනි. සිංහල ජාතියටද ඇත්තේ සංසාර ගමනකි.





-වංශපුර දේවගේ ජානක (මගේ රට)
යුතුකම සංවාද කවය

3 comments:

  1. විමලසේනMarch 13, 2014 at 1:08 AM

    අගනා පැහැඳිලි කිරීමක්. ස්තුතියි!

    ReplyDelete
  2. සුදු පුතාMarch 16, 2014 at 9:13 AM

    කොඩි දමා ජාතිකත්වය ප්‍රදර්ශනය කිරීමට හෝ ක්‍රිකට මැච් වලදී ලාංකීය වීම අතින් ඔබ කියන කොල්ලුපිටියේ පෙරේරලා සියබලාණ්ඩුවේ ටිකිරිබණ්ඩලාට වඩා ඉදිරියෙන් ඉන්නවා නේද?

    ReplyDelete
  3. sudu puthaa thaama podii wage. tikiribanda feb 4 kodi demmath perera feb 4 kodi danne netthe tikiribanda american widiyata hithana nisaada kiyala ahala tiyenne. Lipiye nisaru saha wedagemmakata nethibawa kimatai eweni prashnayak methana ahala tiyenne.

    ReplyDelete