Breaking News

හිරුණිකාගේ සහ බුටේනිස්ගේ ප්‍රකාශ

කොළඹ ප්‍රදේශයේ මත්කුඩු ජාවාරම් කරන්නේ කවුදැයි තමන් දන්නා බව මාධ්‍යය හමුවේ කී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවියට පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා ඇගේ පුරවැසි යුතුකම මතක් කර දුනි. එය ඉතා නිවැරදිය. එවැනි දෙයක් පිළිබඳ ඇය දන්නේ නම් ඇය දන්නා කරුණු පොලීසිය වෙත ඉදිරිපත් කළ යුතුය. එය වගකීමක් ඇති පුරවැසියකුගේ වගකීමක් වන්නේය. විශේෂයෙන් ජනතා නියෝජිත වරියකට මේවා මතක් කර දෙන්න සිදු වීම නම් කණගාටුවට කරුණකි. අජිත් රෝහණ මහතා තව දුරටත් පවසා සිටියේ එවැනි තොරතුරක් ලද වහාම පුද්ගලයන්ගේ තරාතිරම නොබලා ක්‍රියාත්මක වීමට පොලීසිය සූදානම් බවයි. එයද පැසසිය යුතුය. 

ඒ අනුව මෙරට සාමන්‍යය පොදු ජනයාටත් තමන් පත් කරන ජනතා නියෝජිතයකු සම්බන්ධයෙන් වුවත් සැකයක් පැන නගින ආකාරයේ හෝඩුවාවක් ලදහොත් ශ්‍රී ලංකා පොලීසිය ඉතා යුහුසුළුව ක්‍රියාත්මක වන බවට සතුටක් ඇති කර ගත හැකිය. එසේම එවැනි පරීක්ෂණයක් කිසිදු දේශපාලන බලපෑමකින් තොරව සිදු කරගෙන යා හැකි බවට හැගී යාම එම ප්‍රීතිය තවත් උත්සන්න කිරීමට හේතු වනවා නොඅනුමානය. එහෙත් මේ ප්‍රකාශය සැම තැනටම සැම විටම අදාළද? අපි නිර්ලෝභීවම පොලීසිය විසින් මත් කුඩු ජාවාරම අඩපණ කිරීම පිණිස ගෙන යන මෙහෙයුම අගයමු. ඒ කෙරෙහි පවතින ජනතා විශ්වාසය තවත් වැඩි කර ගත හැකි ආකාරයේ පැනයක් අපි අජිත් රෝහණ මහතා වෙත යොමු කරන්නෙමු.

2010 පෙබරවාරි 24 වනි දින එවක ලංකාවේ ඇමරිකානු තානාපතිනි පැට්‍රීසියා බුටේනිස් විසින් යොමු කරන ලදුව විකිලීක්ස් හරහා හෙළිදරවු වුනු කේබල් පණිවුඩය ශ්‍රී ලංකා පොලීසියේ නොමද අවදානයට ලක් වූවා විය හැකිය. එහි සඳහන්ව තිබුනු එක් කරුණක් නම් ශ්‍රී ලංකා ආරක්ෂක සේවාවන්හි හිටපු නිලධාරියෙකුට අනුව ලංකාවේ කුඩු ජාවාරමේ ප්‍රධානියන්ගේ අනුග්‍රාහකයෝ  ලංකා ආණ්ඩුව තුළ සිටිති. ඒ අතර ප්‍රධානියකු වන්නේ ආචාර්ය මර්වින් සිල්වා මහතාය. ඔහුගේ පුතා වන මාලක සිල්වා කොළඹ රාත්‍රී සමාජ ශාලා වල 'එක්ස්ටසි' නමැති කුඩු වර්ගය බෙදා හරින බවට සැකයක් පවතින බවද එහි සඳහන්ය.

මෙහිදී අප දෙඅත් ඔසවා පවසන්නේ බුටේනිස් කියන සියල්ල හරි කියා නොව. බුටේනිස්ට එය පැවසූ හිටපු ආරක්ෂක අංශ නිලධාරියා හරි කියාද නොව. මෙය පොලීසියට ලැබුනු ඉතා හොඳ හෝඩුවාවක් බව පමණෙකි.  හිරුණිකා නම් ගම් කීවේ නැත. නමුත් බුටේනිස් නම් ගම් හා අදාළ කුඩු වර්ගයද සඳහන් කොට ඇත. මේ ඔස්සේ කිසියම් පරීක්ෂණයක් පොලීසිය මගින් සිදු කෙරුණිදැයි අපි නොදනිමු. ඉහත ඔබ පැවසූ ආකාරයට හෝඩුවාවක් ලද විගස තරාතිරම නොබලා පරීක්ෂණ පැවැත්වීමට පොලීසිය සූදානම් බැවින් මේ සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණ පවත්වා තිබෙනවා විය යුතුය. මාලක හෝ මර්වින් හෝ අත්අඩංගුවට නොගැනුනු නිසා පොලීසිය ඒ පරීක්ෂණ මඟින් මේ බුටේනිස්ගේ පණිවුඩය සාවද්‍යය බව තහවුරු කැර ගැනුනා විය යුතුය. එය එසේද? මේ විකිලීක්ස් පුවතද මාධ්‍යයයේ පළ වූ බැවින් ඒ සම්බන්ධයෙන් සිදු කෙරුණූ පරීක්ෂණ වල ප්‍රතිපලද ජනතාවට දැන ගන්නට ලැබෙන්නට සැළැස්වීම සැම අතින්ම හිතකරය. අපද ප්‍රාර්ථනා කරන පරිදි අපගේ ජනතා නියෝජිතයින් මේවාට සම්බන්ධයක් නැතිනම් ඒ බව සැක හැර දැන ගන්නට ලැබීම වාසනාවකි. ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කළ පොලීසිය පිළිබඳ පවතින ජනතා ගෞරවාදරය වැඩි වීමටද එය බලපානු ඇතිය. ඒ නම් සඳහන් වුනු අය නිදොස් නම් පොලීසිය විසින් ඒ බවට ප්‍රකාශයක් කෙරෙන්නේ නම් එය ඒ අයගේ ගෞරවයට පමණක් නොව ඔවුන්ට දේශපාලන වශයෙන් අතහිත දෙන ජනාධිපති තුමාගේ ගෞරවයට වුව එය බෙහෙවින් යහපති. මේ සියළු කාරණා සළකා බලා ඉහත කී විකිලීක්ස් හරහා හෙළිදරව් වූ හෝඩුවාව ඔස්සේ පොලීසිය ගත් පියවර සහ එහි ප්‍රතිපල මෙරට ජනතාවට දැන ගන්නට සළස්වන්නේ නම් එය අපි අගය කරන්නෙමු. වෙසෙසින්ම මෙය වැදගත් වන්නේ මාලක සිල්වාද දේශපාලනයට පිවිසෙන්නට අර අදින මොහොතකය. 

- යුතුකම සංවාද කවය
www.yuthukama.com

1 comment:

  1. විමලසේනJuly 29, 2014 at 1:03 AM

    සාධාරණ හා කාලෝචිත ඉල්ලීමක්.

    ReplyDelete