Breaking News

පුත්‍රයන්ගේ රේස් පැදිල්ල..

මහ නා හිමිවරුන් හට නුවර කාර් රේස් පැදීම වළක්වා ගැනීම සඳහා ජනාධිපතිතුමා වෙත ලිපියක් යැවීමට සිදු වී තිබේ. මේ එම ලිපියයි.

"මෙරට බෞද්ධ ජනතාවගේ පමණක්‌ නොව ලෝකවාසී බෞද්ධ ජනතාවගේද වන්දනීය වූත් පූජනීයවූත් ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඩසිටින දළදා මාලිගාව  මෙන්ම මල්වතු අස්‌ගිරි මහා විහාරයද සෙසු බොහෝ බෞද්ධ සිද්ධස්‌ථානද සතරමහා දේවාලද ස්‌ථාපිතවී  ඇති බැවින් යුනෙස්‌කෝ සංවිධානය මගින් ලෝක උරුම නගරයක්‌ ලෙස නම් කොට ඇති මහනුවර දළදා නගරය  තුළ මෙම මස 27, 28 යන දෙදින තුළ රාත්‍රී මෝටර් රථ සැණකෙළි පැවැත්වීමට යම් පිරිසක්‌ කටයුතු යොදා  ඇති බව දැනගන්නට ලැබී තිබේ. දළදා නගරය තුළ මෙවැනි සැණකෙළි පැවැත්වීම නගරයේ පූජනීයත්වයට මෙන්ම අභිමානයටද හානිකර බව අපගේ විශ්වාසයයි. එබැවින් මෙම සැණකෙළිය දළදා නගරය තුළ පැවැත්වීම නවත්වාලීමට ඔබතුමන්ගේ කාරුණික අවධානය යොමු කරන ලෙසට දන්වා සිටිමු."

සියම් මහ නිකායේ අස්ගිරි පාර්ශවයේ මහ නායක අති පූජ්‍ය උඩුගම ශ‍්‍රී බුද්ධ රක්ඛිත හිමි, සියම් මහ නිකායේ මල්වතු පාර්ශවයේ මහ නායක තිබ්බොටුවාවේ සිද්ධාර්ථ ශ‍්‍රී සුමංගල හිමි වෙනුවෙන් එම පාර්ශවයේ අනු නායක අති පූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමි, ශ‍්‍රී ලංකා අමරපුර නිකායේ මහ නායක අති පූජ්‍ය දවුල්දෙන ඤාණිස්සර හිමියන් සහ ශ‍්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහ නායක අති පූජ්‍ය නාපානේ පේමසිරි යන හිමිවරුන්ගේ අත්සනින් මෙම ලිපිය යොමු කර ඇත.

පුවතක දක්නට ලැබුනේ තරඟාවලිය සංවිධානය කරන ප‍්‍රධාන පාර්ශවකරුවෙක් වන කාල්ටන් මෝටර් රථ සංගමයේ ලේකම් ජාලිය ජයසේකර මහතා ප‍්‍රකාශ කරන්නේ ජනතාවට අපහසුතාවක් නොවන ලෙස පවත්වන බවයි.

මෙම කාල්ටන් මෝටර් රථ සංගමය කාගේදැයි නොදන්නා එකකු ලක්දිව ඇතැයි සිතීම උගහටය. එසේ නම් මෙම කාල්ටන් පුත්‍රයන් හට මෙහි ඇති අනුචිත බව තේරුම් ගැනීමට තරම් මොළයක් තිබී නැති බව පැහැඳිළිය. මොළය අඩු බවට කමා කළ හැක. නමුත් මෙරට මහා නායක හිමි වරුන්ගේ ඉල්ලීමට ඉහළින් යන තරමේ උද්ධච්ඡ භාවයක්ද මේ අඥාන පුත්‍රයන් සතුව ඇති බවට මේ කදිම නිදසුනකි. සාටක පැළැද මෙරට සංස්කෘතියේ සළකුණක් ලෙස ජනතාව අභියසට ඡන්දය පතා ආවද ඔවුනගේ සැබෑ බුද්ධියේ සහ මනසේ ස්වභාවය තේරුම් ගැනීමට මේ උද්ධච්ඡ කම ප්‍රමාණවත්ය.

මේ අය මෙය සාධාරනීකරණය කරනුයේ විදේශිකයන් ගෙන්වා ගැනීමට මෙවැනි දේ අවැසි බව පවසමින් විය හැකිය. සුද්දන්ට කාර් පදිනවා බැලීමට මෙහි පැමිණීමට අවශ්‍යතාවයක් ඇතැයි නොසිතමු. එය අවැසි වී ඇත්තේ මෙහේ අයටමය. ඒ අමන කම අපට නිතැතින්ම සිහි කරනුයේ 77 දී ජයවර්ධන මෙරටට හඳූන්වා දුන් 'ධර්මිෂ්ඨ පාලනය' නොවේද? මහින්ද රාජපක්ෂටද වුවමනා වී ඇත්තේ ඒ මඟම ඉදිරියට ගොස් තමාද ජයවර්ධනගේ සුජාත නොවූ පුත්‍රයකු බව පසක් කරළිමට දැයි අපි නොදනිමු. පුත්‍ර ස්නේහය මේ 'ධර්මිෂ්ට පාලනය'ට අවැසි ජවය සපයා ඇත. නූතන ලංකවේ පියා තවමත් ජයවර්ධනය. කාපල්ලා, බීපල්ලා, ජොලි කරපල්ලා එහි ආප්තෝපදේශයයි.

නුවර  යන වදන සමඟම අප මනසට මැවෙන්නේ දළදා මාළිඟාව හා බැදි පූජනීය හැඟීමකි. නමුත් මේ ගෙන යන බඩජාරී ආර්ථික ක්‍රමවේදය නිසා තව වසර දහයකින් නුවර යන වදන සමඟ ඇස් නිලංකාර කරවන මෝටර් රථ ලාම්පු එළියක්  මනසේ මැවුනහොත් මේ ජයවර්ධන පුත්‍රයන් අද කරමින් සිටින වරද දැකිය හැකි ආකාරයේ මනසක්, බුද්ධියක් ඒ වන විට භෞතිකවාදීන් බවට පිරිහී සිටින මෙරට පොදු ජනයාට තිබෙනු ඇතැයි සිතනු උගහටය. ජයවර්ධන පුත්‍රයන් බවට පත් කරවන ලද ඔවුන්ද එයට සංවර්ධනය නැතිනම් ආශ්චර්යය යන වදන වහරනු ඇත.




යුතුකම සංවාද කවය
www.yuthukama.com

2 comments:

  1. සුදු පුතාJune 24, 2014 at 9:14 PM

    මහින්ද වෙනස් විය යුතුය. නැතිනම් ඔහුට පැවැත්මක් නැත.

    ReplyDelete
  2. විභූතිරත්න...June 24, 2014 at 9:19 PM

    මහින්දගෙන් පස්සේ මේ මාර පුත්‍රයන් බලය ගන්න හීන දකිනව ඇති නේද?
    ඇයි එහෙමනම් මහානායක හිමියන්ගේ පවා උදහසට ලක්වන මෙවැනි පාහර වැඩ වලට මහින්දගේ උපරිම ආශිර්වාදය ලැබෙන්නේ? මාර පුත්‍රයන්ගේ හීන සැබෑවීමට එය බාධාවක් නොවේද?
    මට ඒක ප්‍රශ්නයක්,..

    ReplyDelete