Breaking News

ජනපතිවරණයේ දී රනිල්ගේ උපාය

ජනපති මහින්දගේත් සංධානයේත් ජනපතිවරණ උපාය වී ඇත්තේ තම ප්‍රතිවාදියා වන රනිල් වික්‍රමසිංහ මහතාගේ දුර්වලතා සමාජයට සිහිපත් කර ඒ මත ජයග්‍රහණය ලැබීමයි.  මේ සඳහා බොහෝ අවස්ථාවන් හි යොදා ගන්නේ වික්‍රමසිංහ මහතා අගමැති ධූරය දරමින් රට මෙහෙය වූ මාස 29යි.  කොටි ත්‍රස්තවාදය සවිමත් කිරීම, බටහිර බලවේගයන්ට ගැති වීම සහ ආර්ථික සහ දේශපාලන වශයෙන් රාජ්‍යය දුර්වල කිරීම ඔහුට එරෙහිව ඇති චෝදනාය.  රාජ්‍ය සේවය කුඩා කිරීම, රාජ්‍ය ව්‍යාපාර පෞද්ගලීකරණය සහ සමහර සේවාවන්ගෙන් ආණ්ඩුව ඉවත් වීම රාජ්‍ය දුර්වල කිරීම සම්බන්ධයෙන් නැගෙන චෝදනා අතර වේ. 

ඉදිරි ජනපතිවරණය පැවැත්වෙන්නේ මහින්ද රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ අතර පමණක් නම් කළු පැල්ලම් පිරුණු වික්‍රමසිංහ මහතාගේ අතීතය හේතුවෙන් ජනපතිවරණයේ වාසිය ඇත්තේ ජනපති මහින්දටයි.  වාමාංශික හෝ සුළුජන අපේක්ෂකයෙකු පැමිණීමෙන් රනිල් තවත් දුර්වල වන අතර ප්‍රබල සිංහල බෞද්ධ අපේක්ෂකයෙකු පැමිණියොත් එයින් අවාසියක් සිදු වන්නේ ජනපති මහින්දටයි.

 

ඉහත තත්වය යටතේ වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කරනු ඇතැයි කිසිවෙක් නොසිතති.  වික්‍රමසිංහ මහතා පරදින බව පවසමින් එතුමාට නායකත්වයෙන් ඉවත වන මෙන් අරගල කළ එස් බී දිසානායක, ලක්ෂ්මන් සෙනෙවිරත්න, රාජිත සේනාරත්න සහ දයාසිරි ජයසේකර වැනි අය ඔහුගේ කෙනෙහිලිකම් දරා ගත නොහැකිව සංධානයට එක් වන ලදී.  ඉම්තියාස් බාකිර් මාකර් සහ රංජිත් මද්දුම බණ්ඩාර වැනි අයට පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ සාමාජිකත්වය අහිමි විය.  ජෝර්ජ් පෙරේරා සහ ශිරන්ත අමරසේකර වැනි අයට ආසන සංවිධායකකම් අහිමි විය.  ශිරාල් ලක්තිලක සහ මෛත්‍රි ගුණරත්න වැනි අයට පක්ෂ සාමාජිකත්වය ද අහිමි විය.  එබැවින් අද එජාපය තුල සිටින කිසිවෙක් වික්‍රමසිංහ මහතාට ජනපතිවරණයක් ජයග්‍රහණය කිරීමේ හැකියාව ඇතැයි නොසිතන නමුත් තම තනතුර රැකගෙන දේශපාලනයේ පැවතීමේ අවශ්‍යතාවය හේතුවෙන් ඔව්හු වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය පිළිබඳ කතා පවත්වති.

 

සමහරෙක් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය අනුමාන කරන්නේ බදුල්ලේ දිසාවේ පළාත් සභා ප්‍රතිඵලය පෙන්වමිනි.  එහි දී සංධානය 47%ක් ගන්නා විට එජාපය 45%ක් ගත් බව සැබෑය.  නමුත් එදාම එම පළාතේම මොනරාගල පැවැති පළාත් සභා මැතිවරණයේ දී සංධානය 58%ක් ලබා ගන්නා විට එජාපය ලබා ගත්තේ 39%ක් පමණි.  බදුල්ල දිසාවේ මැතිවරණ ප්‍රතිඵලයෙන් රටේ ප්‍රතිඵලය මැනිය නොහැක්කේ 1994, 2000 සහ 2004 දී පැවැත්වූ පාර්ලිමේන්තු මැතිවරණ වලදී සංධානය රට දිනා ගත් නමුත් බදුල්ල දිසාව පරාද වූ බැවිනි.  ඇත්තෙන්ම බදුල්ලේ ඉතිහාසය පුරාම එජාපයට වාසිදායකව පැවැති දිසාවකි.  ඊට අමතරව තරුණ නැවුම් නායකයෙකු වුණු හරින් ප්‍රනාන්දු මැතිවරණයට එළැඹීමෙන් එජාපයට නව ජවයක් ලැබිණි.  නමුත් රනිල්ගේ ඉදිරිපත් වීම සමාන කළ හැක්කේ හරින්ට නොව මීට පෙර දෙවරක් මහ ඇමති ධූරයට තරග කර පරාජය වූ රවි සමරවීර නැවතත් මහ ඇමති අපේක්ෂක ලෙස ඉදිරිපත් වීමටයි.

 

හරින් ඌවේ ඇති කළ නැවුම් ජවය ජනපතිවරණයට ගෙන ඒමට නම් එජාප ජනපති අපේක්ෂක විය යුත්තේ රනිල් නොව සජිත් ප්‍රේමදාසයි.  නමුත් විපක්ෂයේ පොදු අපේක්ෂක ලෙස සජිත්ව නොව කිසිම එජාප පාක්ෂිකයෙකු ඉදිරිපත් කිරීමට රනිල් සූදානම් නැත.  ඊට ප්‍රබල හේතුවක් තිබේ.  එජාප ව්‍යවස්ථාව අනුව රටේ ජනාධිපතිවරයා එජාප සාමාජිකයෙකු නම් ඔහුට නිල බලයෙන් පක්ෂ නායක ධූරය ද හිමි වේ.  එබැවින් එජාප සාමාජිකයෙකු ජනපතිවරණයට ඉදිරිපත් කර ඔහු ජයග්‍රහණය කළොත් ඔහු ජනපති ධූරයේ දිවුරුම් දෙන මොහොතේම රනිල්ට එජාප නායකත්වය අහිමි වේ.  එවැනි දේශපාලන සිය දිවි හානි කර ගැනීමක් රනිල් කිසි දිනක නොකරනු ඇත.  එසේනම් රටේ රාජ්‍ය බලය වික්‍රමසිංහ මහතාට ලබා ගැනීමට ඇති උපාය කුමක්ද?

 

ජනපතිවරණය ප්‍රකාශයට පත් කරන තෙක් තමන් අපේක්ෂකයා ලෙස ප්‍රකාශ කරමින් වික්‍රමසිංහ මහතා සිටිනු ඇත.  එවිට සංධානය ද කොටි හිතවත්කම, බටහිර ගැතිකම, ලිබරල් ආර්ථිකය, රටේ සංස්කෘතියෙන් සහ ඉතිහාසයෙන් දුරැස් වීම, බටලන්ද වධකාගාරය වැනි ඔහුට එරෙහිව ඇති ආයුද මුවහත් කරමින් ජනපතිවරණයට සූදානම් වනු ඇත.  ඒ අනුව නොවැම්බර් 19 දින හෝ ඊට පසු ආණ්ඩුව ද රනිල් පරදවා ලබන ජයග්‍රහණය පිළිබඳ සිහින දකිමින් ජනපතිවරණයක් ප්‍රකාශයට පත් කරනු ඇත.  වික්‍රමසිංහ මහතා සිය උපාය දියත් කරන්නේ ඉන් පසුය.

 

වික්‍රමසිංහ මහතාට කරනු ඇත්තේ ඉතාම සරල දෙයකි.  එනම් විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීම සිය සටන් පාඨය කර ගත් පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමි වැනි පොදු අපේක්ෂකයෙකුට සහය පල කිරීම පමණි.  එජාප අපේක්ෂකයෙකුට සහය පළ කිරීමට නොහැකි ජවිපෙ සහ ප්‍රප ද එවැනි අපේක්ෂකයෙකුට සහය පල කරනු ඇත.  එමෙන්ම සංධානයට යෑමට නියමිත බෞද්ධ ඡන්ද යම් ප්‍රමාණයක් ආකර්ෂණය කර ගැනීමට ද එම අපේක්ෂකයාට හැකි වනු ඇත.  එමෙන්ම එජාප නායකත්වයේ අඛණ්ඩ පරාජයන් පිළිබඳ කලකිරී නිවසේ නවතින ඡන්දදායකයින් ද ආකර්ෂණය කර ගැනීමට හැකි වනු ඇත.  මේ පසුබිම තුල විපක්ෂයේ පොදු අපේක්ෂකයා ජයග්‍රහණය කිරීමට ද ඉඩ ඇත.

 

ජනපතිවරණයෙන් පොදු අපේක්ෂකයා ජයග්‍රහණය කර ඇත්නම් ඉන්පසු එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය කරනු ඇත්තේ පොදු අපේක්ෂකයා ජයග්‍රහණය කරවීමට එක් වුණු පක්ෂ එකතුවයි.  එහි දී වැඩිම මන්ත්‍රි ධූර ගණනක් දිනා ගනු ඇත්තේ එම පක්ෂ එකතුවේ ප්‍රධාන පක්ෂය වන එජාපයයි.  එවිට පොදු අපේක්ෂක ජනාධිපති විසින් අගමැති ධූරය භාර කරනු ලබන්නේ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාටයි.  එජාපයට ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය කරන අවම මන්ත්‍රිවරු ගණන නොසිටියොත් “රනිල්ගේ දෑත සවිමත් කිරීමට“ දුසිම් ගණනින් සංධානයේ මන්ත්‍රිවරුන් ඉදිරිපත් වනු ඇත.

 

චන්ද්‍රිකා සහ මහින්ද යන ජනපතිවරුන්ට තමන් පොරොන්දු වූ පරිදි විධායක ජනාධිපති ධූරය අහෝසි නොකර පැවතීමට හැකි වුණේ ඔවුන් ආණ්ඩු බලය තිබුණු පක්ෂයේ නායකත්වය දැරූ බැවිනි.  පොදු අපේක්ෂක ජනපතිට සහය දක්වන එවැනි මන්ත්‍රිවරුන් පිරිසක් නැත.  පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රිවරුන් සහය දක්වන්නේ ජනපතිට නොව අගමැතිටයි.  එබැවින් කිසිම අසීරුතාවයකින් තොරව වික්‍රමසිංහ මහතා විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමට ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන එනු ඇත.  එයට විපක්ෂයේ සහය හිමි වුණොත් අවසානයේ දී විධායක ජනාධිපති සතු වූ බලතල වලින් බහුතරයක් අගමැති ලෙස රනිල් වික්‍රමසිංහ මහතාට ලැබෙනු ඇත.  මේ අනුව පොදු අපේක්ෂක සූත්‍රයෙන් සිදු වන්නේ වික්‍රමසිංහ මහතාට සෘජුව ලබා ගත නොහැකි විධායක බලය වක්‍රව ලබා ගැනීමට මග පෑදීමයි.  එබැවින් වික්‍රමසිංහ මහතා ආණ්ඩු ප්‍රධානියා වනු දැකීමට අකැමති පිරිස් පොදු අපේක්ෂකයාට සහයෝගය ලබා දීමෙන් ද වලකිනු ඇත.

 

ඉහත විග්‍රහය අනුව පෙනෙන්නේ වික්‍රමසිංහ මහතා පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට ඉදිරියේ දී කටයුතු කිරීමට ඉඩ ඇති බවයි.  එය ඔහුට බලය ලබා ගැනීමට ඇති සරලම මෙන්ම ප්‍රායෝගික ක්‍රමයි.  මෙය තේරුම් ගැනීමට තරම් ඔහු බුද්ධිමත්ය.  එබැවින් ඔහුගේ අපේක්ෂකත්වය ඇස් බැන්දුමක් බැව් මගේ ඇගයීමයි.  නමුත් එජාප ආරංචි මාර්ග පවසන්නේ ඔහු අවංකවම තම ජයග්‍රහණය පිළිබඳ විශ්වාස කරමින් ජනපතිවරණයට ඉදිරිපත් වන බවයි.

 

වික්‍රමසිංහ මහතා සිය ජයග්‍රහණය පිළිබඳ විශ්වාස කළත් එජාපයේ අනිත් නායකයින් එය විශ්වාස කරන බවක් නොපෙනේ.  නමුත් ඔවුන් හොර ගල් අහුලන්නේ නිසි කල උදා වන තුරුය.  තවමත් ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කර නැත.  එබැවින් ඔවුන්ට කලබල වීමට හේතුවක් නැත.  එජාපය ඇතුලේ විප්ලවය පවතිනු ඇත්තේ මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ඇරඹෙණ සති දෙක තුලයි.  ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීම සහ නාමයෝජනා දිනය අතර තිබිය හැකි අවම දින ගණන 16කි.  එබැවින් සති දෙකක් ඇතුලත වික්‍රමසිංහ මහතා වෙනුවට වෙනත් අපේක්ෂකයෙකු තෝරා ගැනීමට එජාපයට සිදු වේ.

 

1994 දී මීට සමාන සිදුවීමක් විය.  පාර්ලිමේන්තු මැතිවරණය ප්‍රකාශයට පත් කරන විට අගමැති අපේක්ෂිකාව වූයේ ශ්‍රීලනිප සභාපති මෙන්ම පොදු පෙරමුණේ නායිකාව ද වූ සිරිමාවෝ මැතිණියයි.  නමුත් මැතිවරණ ව්‍යාපාරය මැද දී අගමැති අපේක්ෂිකාව ලෙස චන්ද්‍රිකා මැතිණිය නම් කිරීමට ක්‍රියාකාරින්ගේ බලපෑම් මත පක්ෂය නායකත්වයට සිදු විය.  ජනපතිවරණයක නාමයෝජනා දිනයට පෙර අපේක්ෂකයා නම් කළ යුතුය.  එබැවින් ඉදිරි සති කිහිපය තුල එජාපයේ තීරණාත්මක සිදුවීම් ගණනාවක් සිදුවීමට නියමිතය.


-උදය ප්‍රභාත් ගම්මන්පිල
[ලංකාදීප ]
යුතුකම සංවාද කවය
www.yuthukama.com

No comments