Breaking News

පොදු අපේක්‍ෂකයා සහ බලා සිටින ප්‍රේක්‍ෂකයා


පොදු අපේක්‍ෂක නාමාවලියේ දිග වැඩි වෙන්නට, වෙන්නට එයින් කියවෙන්නේ, පොදු එකඟතාවයක්‌ විපක්‍ෂය තුළ නැතිවීම සේම, ආණ්‌ඩු පක්‍ෂ අපේක්‍ෂකයාගේ ප්‍රබලභාවයයි.

18 වැනි සංශෝධනය රාජපක්‍ෂ ආණ්‌ඩුව විසින් ගෙන ආවේ දෙවැනි වාරයේ බලයට පත් වූ මුලදීමය. ඊළඟ ජනාධිපතිවරණය සඳහා රාජපක්‍ෂලා ලෑස්‌ති වී තිබුණේ කලින් ජනාධිපතිවරණය හමාර වෙනවාත් සමඟය. එජාපයට ද එවැනි ගණන් සෑදීමක්‌ තිබිය යුතුවම තිබිණි. එසේ වුවත් එජාපය සිටියේ වැනෙන තත්ත්වයකය. පක්‍ෂ නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ ඒ සඳහා කොහොමත්ම ඉදිරිපත් වනු ඇතැයි එජාපයේ අදහස වන්නට ඇත. 2010 ජනාධිපතිවරණයේදී පොදු අපේක්‍ෂකයකුට සහාය දීම නිසා යළිත් වතාවක්‌ ඒ දෙයම කරන්නට ඊළඟ වතාවේ එජාපය කටයුතු නොකරනු ඇතැයි කවුරුත් සිතන්නට විය. 2010 දී පොදු අපේක්‍ෂකයකු දමා පරාජයට පත්වන විටම එජාපය ඊළඟ වතාවේදී තමන්ගේ අපේක්‍ෂකයා පිළිබඳව සෘජු ප්‍රතිපත්තියක පිහිටා තිබෙන බව පාක්‍ෂිකයන් සේම අන් අය ද තේරුම් ගෙන සිටිනා ලදී.

1988 වසරේ පැවැති පළාත් සභා මැතිවරණයෙන් පසුව, ඡේ. ආර්. විසින් සිතියම සකස්‌ කරන ලද්දේ ඊළඟ ජනාධිපතිවරණය සඳහාය. ඒ වන විට රටේ තත්ත්වය එජාපයට නරක අතට කැරකී තිබිණි. ඒ අතරේ ඡේ. ආර්. තුළ තුන්වැනි වතාවට තරග කිරීමේ අදහස ඇති වී තිබුණත් අගමැති ප්‍රේමදාස විසින් ඡේ. ආර්. ගේ ගෙදර ගොස්‌ ඒ අදහස අතහැර දමන තැනට ඡේ. ආර්. ගෙන එන්නට සමත් වී තිබිණි.

එතැන් සිට ඡේ. ආර්. කල්පනා කළේ ප්‍රේමදාසට පක්‍ෂය ගොනු කර දෙන ආකාරයයි. අගමැති හෙවත් පක්‍ෂයේ දෙවැන්නා ලෙස ප්‍රේමදාස ගෙන එන අතරේම, තවත් ඡේ. ආර්. ගේ ප්‍රියතමයන් පක්‍ෂයේ සිටියේය. ගාමිණී දිසානායක හා ලලිත් ඇතුලත්මුදලි එජාපයට ප්‍රේමදාස තරම් ජ්‍යෙෂ්ඨ නොවුණාට ඔවුන් ඡේ. ආර්. ගේ ප්‍රියතමයන් වීම හා ඒ වන විට රට තුළ ජනප්‍රිය වීම විසින් පක්‍ෂයේ පිරමීඩයේ ඉහළ ස්‌ථානවල රැඳී සිටියෝය. ප්‍රේමදාස හා ඔවුන් අතර සම්බන්ධය සුහද නොවුණ ආකාරයක්‌ දුටු ඡේ. ආර්. ඒ සඳහා හොඳ උපායක්‌ යෙදවීය. පක්‍ෂ අභ්‍යන්තරයේ තිබෙන ගින්න, එතැනදීම නිවා දමා පාක්‍ෂිකයා වෙතත්, ජනතාවටත් එජාපයේ සියලු බලය ඒකරාශි කරන ලද අපේක්‍ෂකයා ලෙස ප්‍රේමදාස ඉදිරිපත් කිරීමට ඡේ. ආර්. ගේ මඟ වූයේ එජාපයේ කෘත්‍යාධිකාරි මණ්‌ඩලය හා පාර්ලිමේන්තු කණ්‌ඩායම එක්‌කර මැතිවරණ කමිටුවක්‌ නම් කිරීමය. එජාපයේ සමහර මන්ත්‍රීවරු සිතුවේ මැතිවරණ කමිටුවේ ඡන්දයකින් ඊළඟ ජනාධිපතිවරණය සඳහා අපේක්‍ෂකයා තෝරා ගන්නට ඡේ. ආර්. අවස්‌ථාව උදාකර දෙනු ඇතැයි කියාය.

ඒ වන විට එජාපය තුළ ප්‍රේමදාසට එරෙහි වූ බලඇණි කිහිපයක්‌ම විය. රට තුළ පක්‍ෂයට තිබූ තත්ත්වය නරක්‌ වන අතරේම පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයකු වූ රොනී ද මැල් ද ශ්‍රීලනිපයට එකතුවී තිබිණි. මේ නිසා ඡන්දයකින් පක්‍ෂයේ අපේක්‍ෂකයා තෝරාගන්නට ගියහොත් ප්‍රේමදාසට පක්‍ෂයේ මුළු බලයම අහිමි වන බවත්, එතැනදී සිදුවන බෙදීමෙන් ප්‍රේමදාසගේ ඡන්ද සටන දෙදරා යන්නට පවා ඉඩ ඇති බවත් තේරුම් ගත් ඡේ. ආර්.ප්‍රේමදාස තනි නොකරන තීරණයට එළඹුණේය. පක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂකයා ලෙස ඡේ. ආර්. විසින්ම ප්‍රේමදාස නම් කරන අතරේ ප්‍රේමදාස ගැන අකමැත්ත සිතේ දරාගෙන සිටි ලලිත් හා ගාමිණී ලවා එම යෝජනාව ස්‌ථිර කරවන්නට ඡේ. ආර්. සමත් විය. 1988 ජනාධිපතිවරණයේදී එක පයින් එජාපයෙන් ප්‍රේමදාස ඉදිරිපත් වන්නේ ඒ අනුවය.

අද එජාපය කල්පනා කළ යුත්තේ ද මේ ගැනය. එළියේ සිටින සමහරුන් වීරයන් කරන්නට ගොස්‌ එජාපය තරම් බැට කෑ පක්‍ෂයක්‌ නැත. ආණ්‌ඩුවට එරෙහිව එළියේ චරිත ලොකු කර ගැනීමේ විපාකයත්, පක්‍ෂයේ අපේක්‍ෂකයා සෘජු ලෙස කීමට නොහැකි වීමත් නිසා එජාපය පැත්තක තිබියදී පොදු අපේක්‍ෂකයන් ගණනාවක්‌ නිර්මාණය වෙමින් තිබේ.

එජාපයට දිගටම එරෙහිව සිටි එජාපයේ ප්‍රබලම ප්‍රතිවාදියා වූ චන්ද්‍රිකා කුමාරතුංග පවා පොදු අපේක්‍ෂක ලැයිස්‌තුවට එක්‌ වී ඇත්තේ මෙම කල්ක්‍රියාව නිසාය. ආණ්‌ඩුවට රිද්දන්නට චන්ද්‍රිකා පාවිච්චියට ගැනීම එක දෙයකි. ඒ දෙයට ගොස්‌ එජාපය චන්ද්‍රිකා පස්‌සේ යැම තවත් දෙයකි. සෝභිත හිමි සාධකය ද එසේය. සෝභිත හිමියන් තම යෝජනාවලිය රැගෙන එජාපය පස්‌සේ ආ යුතු වුවත් දැන් සිදුව ඇත්තේ පිටකෝට්‌ටේ සිරිකොතින් අපේක්‍ෂකයා තෝරනවා වෙනුවට ඊට කිලෝමීටර් ගණනාවක්‌ එහායින් තිබෙන නාග විහාරයෙන් අපේක්‍ෂකයකු තෝරා සිරිකොතට එවන තත්ත්වයට පත්වීමය.

නොවැම්බර් 19 වැනිදා වන විට ජනාධිපතිවරණයක්‌ ප්‍රකාශයට පත්කිරීමට ආණ්‌ඩුව සූදානම් වී තිබේ. පක්‍ෂ කාර්යාල විවෘත කිරීම, අරලියගහ මැඳුරේ ජනහමු පැවැත්වීම, ප්‍රචාරක වැඩපිළිවෙළ සූදානම් කිරීම ආදිය ආණ්‌ඩුව මගින් මේ වන විටත් අවසන් කර තිබේ. නමුත් තවම විපක්‍ෂය විසින් තම අපේක්‍ෂකයා නම් කර නැත. එජාපය සමහර විට බලා සිටිනවා ඇත්තේ සියලු පාර්ශ්ව සතුටු කරවිය හැකි අපේක්‍ෂකයෙක්‌ එම පාර්ශ්ව විසින් තම පක්‍ෂයේ මුල් අය අතරින් තෝරා දෙනු ඇතැයි කියාය. ඒ අතරේම, එළියේ සිටින පොදු අපේක්‍ෂකයකු ගේ 'නැට්‌ටේ එල්ලී දිව්‍ය ලෝකයට යැමේ' අභිප්‍රායක්‌ ද එජාපයට තිබෙනවා විය හැකිය. එවැනි අභිප්‍රායන් එජාපයට තිබිය හැකි වුවත්, 2010 දී ඉගෙන ගත් පාඩම යළිත් වන පොත් කිරීමට එජාපය සූදානම් විය යුතු නැත.

රටේ ප්‍රධානම දේශපාලන පක්‍ෂයක්‌ ලෙස රටේ ප්‍රබලම මැතිවරණයේදී අපේක්‍ෂකයන් එළියෙන් තෝරන්නට යැමේ විපාකය එජාපය දැනටමත් විඳවමින් සිටියි. 2010 දී සරත් ෆොන්සේකාට ඉඩ දීම නිසා අද වන විට සෝභිත හිමි, ශිරාණි බණ්‌ඩාරනායක, චන්ද්‍රිකා කුමාරතුංග වැනි නම් ගණනාවක්‌ පොදු අපේක්‍ෂක ලේඛනයට පැමිණ තිබේ. යම් හෙයකින් 2010 දී ෆොන්සේකාට ඉඩ නුදුන්නා නම්, මෙවැනි පොදු අපේක්‍ෂක බලපෑමක්‌ එජාපයට එළියෙන් එන්නේ නැත. ඒ වෙනුවට එජාප අපේක්‍ෂකයා වටා පොදු අපේක්‍ෂක වුවමනාව ගොනුවන්නට පටන් ගන්නට තිබිණි.

ඒ සඳහා දැන් වුවත් ප්‍රමාදයක්‌ නැත. ලහි ලහියේ පොදු අපේක්‍ෂකයකු ඉදිරිපත් කළ පමණින් එජාපයට ලැබෙන සෙතක්‌ නැත. 2010 සරත් ෆොන්සේකා වැනිවූ ප්‍රබල පොදු අපේක්‍ෂකයකු ද එළියේ නැත. එසේ නම් එජාපය මුලින් කළ යුත්තේ ඡේ. ආර්. '88 දී කළා සේ පක්‍ෂය එක තැනකට ගෙන ඒමය.

එජාපය ඇතුළේ තිබුණු ප්‍රධාන ගැටුම් පාර්ශ්ව දෙක දැන් එක තැනකට පැමිණ තිබේ. රනිල් වික්‍රමසිංහ ජනාධිපති අපේක්‍ෂකයා වනවා නම් සජිත් ප්‍රේමදාස ඒ සඳහා සහයෝගය දක්‌වන්නට කැමැත්ත දී දෙපළ එක්‌වී සිටිති. එසේ නම් එජාපය කළ යුත්තේ තම පක්‍ෂයේ අපේක්‍ෂකයා මුලින් තෝරා ගැනීමය. කරු ජයසූරිය වැනි එජාපයේ සිට දාහත්දෙනකු සමඟ දෑත් ශක්‌තිමත් කරන්නට ගිය ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ තුන්වැනියාට මනාප ලබාගත් චරිතයක්‌ ජනාධිපති අපේක්‍ෂක ධුරයට නම් කරන්නට එළියේ පිරිස කටයුතු යොදන්නේ එජාපය ඇතුළෙන් තම අපේක්‍ෂකයා ඉදිරිපත් නොකරන නිසාය. මුලින්ම පක්‍ෂයක්‌ ලෙස තම අපේක්‍ෂකයා එජාපය ඉදිරිපත් කරනවා නම් සෙසු අයට සිද්ධ වන්නේ එජාපය වටා කැරකීමටය. නැතහොත් ප්‍රධාන විරුද්ධ පක්‍ෂය නොමැතිව 'පොදු අපේක්‍ෂකයකු' බවට පත්වීමටය. පොදු අපේක්‍ෂක කතාවේ ප්‍රධාන පක්‍ෂය ලෙස එජාපය මේසයට පිවිසිය යුත්තේ තම ඉත්තා සමඟය. පොදු අපේක්‍ෂක කතාවක්‌ ගැන සාකච්ඡා පැවැත්විය යුත්තේ ඉන් පසුවය.

-මනෝඡ් අබයදීර
මනෝගේ දේශපාලන ලෝකය - දිවයින

යුතුකම සංවාද කවය
www.yuthukama.com

No comments