Breaking News

සිංහල සාහිත්‍ය විචාරය - අලියා සහ අන්ධයෝ



කිසියම් සුවිශේෂ නිර්මාණකරුවෙකු නිසා යම් සාහිත්‍යයක්‌ හෝ කලාවක්‌ එක්‌ යුගයක බැබළිය හැකි වුව ද විචාර ක්‍ෂේත්‍රයේ එලෙස බැබළීමට නම් ප්‍රතිභා සම්පන්න විචාරකයින් කිහිපදෙනෙකු අතර ඒ අරබයා සුසංවාදයක්‌ ඇති වීම අත්‍යවශ්‍ය වේ. එම සුසංවාදය වනාහි තමන්ගේ හෝ තම සගයාගේ ආත්මාර්ථය පිණිස නොව හුදෙක්‌ සාහිත්‍යය - කලාවෙහි පරිගමනය පිණිස ම විය යුතු ය. එය තමන් දරන මතවාදය නිවැරදි බව සනාථ කරනු පිණිස පමණක්‌ නොව ඒ පිළිබඳ ස්‌වයං විවේචනය පිණිස ද විය යුතු ය. 20 වන සියවසේ මැද භාගයේ එනම් මාර්ටින් වික්‍රමසිංහ, එදිරිවීර සරච්චන්ද්‍ර සහ ගුණදාස අමරසේකර යුගය සිංහල සාහිත්‍ය විචාරයේ මල්බර සමය බවට පත්වීමෙන් එය සනාථ වෙයි.


මෙරට ජනප්‍රිය විචාරය තුළ එදිරිවීර සරච්චන්ද්‍ර, ගුණදාස අමරසේකර පේරාදෙණි ගුරුකුලයේ ප්‍රමුඛයින් ලෙස ද මාර්ටින් වික්‍රමසිංහ එම ගුරුකුලයේ මතවාදී සතුරා ලෙස ද අර්ථ දැක්‌වේ. (චන්ද්‍රරත්න මානවසිංහ සහ සිසිර කුමාර මානික්‌කආරච්චි ආදීහු ද පේරාදෙණි සාහිත්‍ය විවේචනය කළහ.) එහෙත් මෙකී සරල අර්ථ කථනයට එහා ගිය සංකීර්ණ සබඳතාවක්‌ ඔවුන් අතර දැකිය හැකිය. පියදාස සිරිසේන සහ ඩබ්ලිව්. ඒ. සිල්වා නව කතාකරුවන් ලෙස ජනප්‍රියව පැවති යුගයක මාර්ටින් වික්‍රමසිංහ ගේ යථාර්ථවාදී නවකතාව සිංහල පාඨකයා වෙත හඳුන්වා දුන්නේ එදිරිවීර සරච්චන්ද්‍ර ය. මාර්ටින් වික්‍රමසිංහ සිංහල සාහිත්‍ය ඉතිහාසය අලළා රචිත 'සිංහල සාහිත්‍යයේ නැඟීම' කෘතිය ඉංග්‍රීසියට පරිවර්තනය කළේ සරච්චන්ද්‍ර ය. මාර්ටින් වික්‍රමසිංහ විසින් රචිත 'විරාගය' පිළිබඳ වඩාත් වැදගත් විචාර ලිපි කිහිපයක්‌ ම ලියන ලද්දේ ගුණදාස අමරසේකර විසිනි. අනෙක්‌ අතට අමරසේකර, සිරි ගුණසිංහ සහ සරච්චන්ද්‍ර ආදීන්ගේ සාහිත්‍ය සහ විචාර කෘති නිර්දය ලෙස විචාරයට ලක්‌ කරන ලද්දේ වික්‍රමසිංහ විසිනි. 'සිංහල නවකථා ඉතිහාසය හා විචාරය', 'නවකථාංග හා විරාගය', 'අලියා සහ අන්ධයෝ', 'සිංහල නවකථාව සහ ජපන් කාමකථා සෙවණැල්ල', 'කල්පනා ලෝකය', 'නව පද්‍ය සිංහලය' ආදී කෘති මෙකී සුසංවාදයෙහි මහාර්ඝ සම්ප්‍රදානයන් ලෙස සඳහන් කළ හැකි ය. 


මේ සාහිත්‍ය කලා සුසංවාදයෙහි එක්‌ සුවිශේෂ කෘතියක්‌ වන ගුණදාස අමරසේකරගේ 'අලියා සහ අන්ධයෝ' කෘතිය දශක පහකට පසු නැවත පළ වීම සිංහල පාඨකයින් ලද භාග්‍යයකි. එම කෘතිය ප්‍රථම වරට පළ වූයේ 1966 වසරේ දී ය. ඉන් අනතුරුව දශක පහක්‌ පුරා එහි කිසිදු මුද්‍රණයක්‌ පළ නො වූ අතර ඉන් පිටපතක්‌ සොයා ගැනීම කළුනික සෙවීමට නො දෙවෙනි විය. එ දවස පැවති සාහිත්‍ය විචාරයෙහි විශිෂ්ටත්වය පිළිබඳ යම් අවබෝධයක්‌ ලැබීම සඳහා මෙම කෘතියේ නැවත මුද්‍රණයක්‌ පළ වීමේ අවශ්‍යතාව බොහෝ කලක සිට පැවතිණි. මේ කුඩා ලිපිය වෙන් වන්නේ 'අලියා සහ අන්ධයෝ' කෘතිය නැවත පළ වූ මේ අවස්‌ථාවේ එය පාඨක විචාරක අවධානයට යොමු වීමේ අවශ්‍යතාව සැකෙවින්වුව පෙන්වා දීමේ වගකීමෙන් බැහැර නොවිය හැකි බැවිනි.


1966 'අලියා සහ අන්ධයෝ' කෘතිය පළ කරන සමය වන විට අමරසේකර නවකතාකරුවෙකු, කෙටි කතාකරුවෙකු සහ කවියෙකු ලෙස සිංහල සාහිත්‍ය, ලෝකය දික්‌ විජය කර තිබිණි. විචාරකයෙකු ලෙස ද නමක්‌ දිනා ගෙන සිටියේ ය. 1955 වසරේ ගුවන් විදුලි සාකච්ඡා කිහිපයක්‌ අලළා සම්පාදනය කළ විනෝදය හා විචාරය ඔහුගේ මුල් ම විචාර කෘතිය ලෙස සැලකිය හැකි ය. කෙසේ වුව ද සාහිත්‍ය දර්ශන, ප්‍රබන්ධ සාහිත්‍යය, නවකතාව, කෙටිකතාව, කවිය සහ සාහිත්‍ය විචාරය ගැඹුරින් විමර්ශනයට ලක්‌ කරමින් රචිත මුල් ම කෘතිය ද ඒ සියලු ක්‌ෂේත්‍ර සියුම් ලෙස විමර්ශනය කරමින් රචිත එක ම කෘතිය ද 'අලියා සහ අන්ධයෝ' ය. 


නිර්මාණකරණයට මෙන් ම විචාරයට ද කිසියම් ප්‍රතිභාවක්‌, වාසනා ගුණයක්‌ අවැසි ය. ඒ නිර්මාණකරණය මෙන් ම විචාරය ද එක්‌තරා නිර්මාණාත්මක කාර්යයක්‌ වන හෙයිනි. ඒ ප්‍රතිභාව වික්‍රමසිංහට සහ සරච්චන්ද්‍ර ට මෙන් ම අමරසේකරට ද නො අඩුව තිබිණි. 'අලියා සහ අන්ධයෝ' කෘතිය ලිවීමට අමරසේකර උත්ප්‍රේරණය ලබන්නේ වික්‍රමසිංහගේ 'නව කථාංග සහ විරාගය' කෘතියෙනි. නැතහොත් පෙර කී සාහිත්‍ය සුසංවාදයෙනි. එහෙත් මේ සාහිත්‍ය සුසංවාදය නිසි අරුතින් සමාජගත නොවිණි. කිසිදු ප්‍රතිභාවක්‌ නැති හුදු න්‍යායවාදීන්ගේ කෙළි බිමක්‌ බවට වර්තමාන සිංහල සාහිත්‍ය විචාර ක්‌ෂේත්‍රය පත් ව ඇත්තේ ඒ නිසා ය. 


කිසියම් සාහිත්‍ය න්‍යායක්‌ වනපොත් කර එකී න්‍යාය අනුව බැස ගත් පූර්ව නිගමන සහිත ව විචාරයට බැසීම නිසා අදාළ සාහිත්‍ය කෘතිය පිළිබඳ පරිපූර්ණ විචාරයක්‌ සිදුනොවන බවත් එනිසා නිර්මාණයේ විශාල පාදාසයක්‌ ඔහුට මඟහැරෙන බවත් අමරසේකර සිය කෘතියේ මුල් ලිපියෙන් ම පෙන්වා දෙයි. එවැනි විචාර අන්ධයින් අලියා දැකීමට අසමාන නොවන බව තවදුරටත් පවසයි. එළිමහන් සිරගෙයක්‌ වැනි කිසියම් විචාර න්‍යායයකට ගැති ව විචාරයට පිවිසෙන්නා, අලියාගේ කකුල බදා ගෙන අලියා වංගෙඩියක්‌ වගේ යෑයි කියා ඉන් නොනැවතී එසේ නොවේ යෑයි කියන සෙස්‌සන් හා සණ්‌ඩු කරන අන්ධයා මෙන් තම අදාළ සාහිත්‍ය කෘතිය පිළිබඳ සදොස්‌ විචාරයක යෙදෙයි.



ලොව කිසිදු විචාර න්‍යායක්‌ පරිපූර්ණ නොවේ. එහෙයින් කිසියම් විචාර න්‍යායක කොටු වූ විචාරකයාට අදාළ කෘතියෙහි, එකී විචාර න්‍යායට පදනම් වූ සිද්ධාන්තවලට විෂය වන කොටස්‌ පමණක්‌ පෙනෙන අතර සෙසු සියල්ල නොපෙනී යයි. අනෙක්‌ විචාර න්‍යාය ඔස්‌සේ දැකගත හැකි සියල්ල ඔහුට අවිෂය වෙයි. කරුණු එසේ නම් මාක්‌ස්‌වාදය, පශ්චාත් නූතනවාදය, ඉන්ද්‍රජාලික යථාර්ථවාදය, ස්‌ත්‍රිවාදය ඈ න්‍යාය අනුව කෙරෙන විචාර අර අන්ධයින් අලියා දුටු ආකාරයට අසමාන වේද? නූතන සිංහල සාහිත්‍ය විචාර ක්‍ෂේත්‍රයේ යම් යම් න්‍යාය සනාථ කරන පිණිස සාහිත්‍ය කෘති අවභාවිත කරන තත්ත්වයට පිරිහී ඇත්තේ මේ මූලික අවබෝධය පවා විචාරකයාට නොමැති හෙයින් නො වෙද? මිතුරු සංග්‍රහය පිණිස සහ කෘතගුණ සලකනු පිණිස විචාරය ද සාහිත්‍ය සම්මානය ද වෛශ්‍යා වෘත්තියෙහි යෙදවීමට එම දැනුම අනවශ්‍ය වුව ද විචාර ක්‍ෂේත්‍රයේ ප්‍රගමනය පිණිස නම් එම දැනුම අනිවාර්ය වේ.


එදවස විචාරකයා කිසියම් විචාර න්‍යායක සිරවනු වෙනුවට බොහෝ විචාර සිද්ධාන්ත පිළිබඳව ඇසූ පිරූ තැන් ඇතිව, පෙර අපර දෙදිග විචාර සිද්ධාන්ත පිළිබඳ අවබෝධයෙන් සාහිත්‍ය - කලා විචාරයට පිවිසියේ ය. තමා ඉදිරියේ ඇති කෘතිය රස විඳිනු පිණිස එකී න්‍යාය නිර්මාණාත්මක ලෙස භාවිත කළේ ය. එහි ප්‍රතිඵලය ලෙස විශිෂ්ට විචාරයක්‌ ද ඉන් පෝෂණය ලැබ විශිෂ්ට නිර්මාණ දබිහිවිය. 


එම සාහිත්‍ය කලා ව්‍යාපාරය එකිනෙකාගේ පුරාඡේරුව කියාපෑම පිණිස නොව නිර්මාණය සඳහා සාධාරණ විචාරයක්‌ ලබාදීමේ අරමුණින් ම රචිත ය. සිංහල ප්‍රබන්ධ කතාව විචාරයට ලක්‌ කරමින් ඇතැම් කෘති ඉංගිරිසියට පරිවර්තනය කරමින් සරච්චන්ද්‍ර, වික්‍රමසිංහ ගේ නිර්මාණ ඉහළට ඔසවා තැබුව ද වික්‍රමසිංහ පෙරළා සරච්චන්ද්‍ර ඔසවා තබමින් මිත්‍ර සංග්‍රහය පිණිස විචාරය අවභාවිත කළේ නැත. සරච්චන්ද්‍ර සිය විචාර කාර්ය භාරය ඉටු කළේ ද එවන් පටු අරමුණුවල පිහිටා නො වේ.


අමරසේකරගේ 'යළි උපන්නෙමි' වැනි නිර්මාණ ඉංගි්‍රsයට නඟා විශ්ව සාහිත්‍යයට එක්‌ කළ යුතු ශ්‍රේෂ්ඨ නිර්මාණ බවට සරච්චන්ද්‍ර ප්‍රශංසා කළ ද අමරසේකර ඉන් තෘප්තියට පත් වූයේ නැත. ඉන් මෝහයට පත්ව වල්මත් වූයේ නැත. ඊට කෘතගුණ සලකනු වස්‌ සරච්චන්ද්‍ර අභිනන්දනය පිණිස විචාර ලීවේ ද නැත. සරච්චන්ද්‍ර මහත් සේ ඇගයූ සිය මුල් නවකතා මාර්ටින් වික්‍රමසිංහ විසින් දැඩි ලෙස විවේචනය කළ ද අමරසේකර ඉන් නොසතුටට පත්ව අගතිගාමී ව වික්‍රමසිංහව විවේචනය කළේ ද නැත. 'අලියා සහ අන්ධයෝ' කෘතියේ ඇති වික්‍රමසිංහ ගේ 'විරාගය' නවකතාව විචාරයට ලක්‌කරමින් අමරසේකර රචිත ලිපි කිහිපය ඒ සඳහා කදිම නිදසුනකි. 


අමරසේකර විචාර භාවිතාව තුළ වික්‍රමසිංහ සහ සරච්චන්ද්‍ර ලද ආභාසය පැහැදිලිව හඳුනා ගත හැකි ය. එමෙන් ම ඒ ඒ විෂය පිළිබඳ ඔවුන්ගේ විචාර වාදවල පැවති ප්‍රබලතා සහ සීමා මායිම් පිළිබඳ පැහැදිලි අවබෝධයක්‌ ද අමරසේකරට තිබිණි. එහෙයින් ඔහු සිංහල නවකතා, කෙටි කතාව සහ සංස්‌කෘතික විචාරයෙහි ලා වික්‍රමසිංහ වෙත ද ම සිංහල කාව්‍ය විචාරයෙහි ලා සරච්චන්ද්‍ර වෙත ද නැඹුරු විය. එමෙන් ම අමරසේකර විසින් 1996 රචනා කරන ලද 'සිංහල කාව්‍ය සම්ප්‍රදාය' නම් මාහැඟි නිබන්ධය ඔස්‌සේ වඩා පුළුල් ලෙස විග්‍රහයට ලක්‌ වන අදහස්‌වල මුල් බිජුවට 'අලියා සහ අන්ධයෝ' කෘතිය තුළ හඳුනා ගත හැකි ය. එහි 21 වැනි ලිපිය නම් කර ඇත්තේ ද සිංහල කාව්‍ය සම්ප්‍රදාය නමිනි.

'අලියා සහ අන්ධයෝ' කෘතිය රචනා කෙරෙන සමය වන විට පෙර-පර දෙදිග විචාර සිද්ධාන්තවල එන ඇතැම් සංකල්ප ප්‍රකාශ කිරීම සඳහා සුදුසු පාරිභාෂික පද සිංහල භාෂාවෙන් නිර්මාණය වී නො තිබිණි. ඒ ඒ විචාරකයින් විවිධ වචන භාවිත කරනු දැකිය හැකි ය. එහෙත් වික්‍රමසිංහ සහ සරච්චන්ද්‍ර මෙන් ම අමරසේකර ද සිංහල සාහිත්‍ය විචාරය සඳහා අවැසි තාක්‌ෂණික භාෂාව නිර්මාණය කරගැනීමට මේ කෘතිය ඔස්‌සේ මඟපෙන්වයි. එසේ බලන කල ඉංග්‍රීසි භාෂාවෙන් කියවූ සංකල්ප එලෙසම සිංහල අකුරින් ලිවීම විචාර විලාසිතාවක්‌ බවට පත්ව ඇති සමයක 'අලියා සහ අන්ධයෝ' කෘතිය නැවත ප්‍රකාශයට පත්වීම කාලීන අවශ්‍යබතාවක්‌ සපුරාලීමකි. 


මේ සියල්ලට ම වඩා වැදගත් වන්නේ 'අලියා සහ අන්ධයෝ' කෘතිය ඔස්‌සේ ලොව නන් දෙස නා නා සංස්‌කෘතීන් ඇසුරේ නිර්මාණය වූ සාහිත්‍ය විචාර න්‍යාය සහ දර්ශන මෙරට සංස්‌කෘතියට හර පද්ධතියට ඔබින සේ ස්‌වීයකරණය කර ගැනීමට දරන ලද අභිෂ්ට ප්‍රයත්නයයි. ගෝලීයකරණය, විශ්ව ගම්මානය සහ බහු-සංස්‌කෘතිකවාදය වැනි අධිපතිවාදී ඊනියා සංකල්ප විසින් සාහිත්‍ය සංවාදයෙහි පරිධියට තල්ලු කොට ඇති ස්‌වීයකරණ සංකල්පය නැවත එහි කේන්ද්‍රය වෙත රැගෙන ඒම අද දවසේ ප්‍රබුද්ධ විචාරකයාගේ ප්‍රමුඛ කාර්ය භාරයකි. ඒ සඳහා අලියා සහ අන්ධයෝ' වැනි කෘති ආධුනික නිර්මාණකරුවන් සහ විචාරකයින් මෙන් ම සාහිත්‍ය කලාදිය පිළිබඳ සිය දැනුම පුළුල් කරගනු රිසි සියලු පාඨකයින් ද අත්පොතක්‌ ලෙස ළඟ තබා ගෙන හැදෑරිය යුතු ය. එහි අමරසේකර මතු කරන විචාර මතවාද විචාරශීලී ව ගැඹුරින් අධ්‍යනය කළ යුතු ය. එහි ප්‍රබලතා මෙන් ම සීමා මායිම් කවරේ දැයි සියුම් ලෙස නිරීක්‌ෂණය කළ යුතු ය. වර්තමාන සිංහල සාහිත්‍ය-කලා විචාරය මුහුණ පා ඇති අතොරයෙන් එය ගලවා ගත හැක්‌කේ එවැනි සවිඥානිකමැදිහත් වීමකින් පමණි.


-නාමල් උඩලමත්ත
යුතුකම සංවාද කවය
www.yuthukama.com

1 comment:

  1. ධනුද්ධරSeptember 23, 2014 at 1:08 AM

    අමරසේකරගේ ආත්මීය විචාරයේ අනතුර

    අමරසේකර මහතාගේ “අලියා සහ අන්ධයෝ” පළවන්නේ මෙහි පළමු මුද්‍රණයෙන් අවුරුදු පනහකට පමණ පසුවය. ඔහු එම ලිවීම අරඹන්නේ සාහිත්‍ය විචාරය ප්‍රතිනිර්මාණයක් විය යුතු බව කියමිනි. කෙටියෙන් කිවහොත් එය හුදු විවච්ඡේදන ක්‍රමයක් නොවිය යුතු බව කියන විට ඔහු පළ කරන්නේ අද කාලයේ බටහිර ප්‍රචලිතව පවතින ප්‍රවාදවලට පවා ගැලපෙන අදහසකි. අමරසේකර එහිලා විචාරය නිර්මාණාත්මක කාර්යයක් බව පවසමින් බටහිර විචාරයේ පදනම ද එය වී ඇති බව පැහැදිලි කරයි. එහි මෙසේ ලියැවී ඇත.

    “වර්තමාන ඉංග්‍රිසි සාහිත්‍ය විචාරකයන් තවදුරටත් විචාරවාද ක්‍රම තනා ගැනීමට නොවෙහෙසී, විචාර සිද්ධාන්ත රිසි සේ නිර්මාණාත්මක ලෙස යොදා ගනිමින් සිය කාර්යයෙහි යෙදෙන්නේ ඔවුන් මේ බව වටහා ගත් බැවින් විය යුතුය.” (අලියා සහ අන්ධයෝ 10 පිටුව)

    සාහිත්‍ය විචාරය නිර්මාණාත්මක විය යුතු බවට අමරසේකර දරන යට කී මතය සමඟ එකඟ නොවී සිටීමට හේතුවක් පෙනී නොයයි. එහෙත් ගැටලුව වන්නේ විචාරය නිර්මාණාත්මක වන්නේ කෙසේද? යන්න පිළිබඳ ඔහුගේ මතය එකී ලිපියේ ඉතිරි අඩ තුළ අර්බුදයට ලක්වීමයි. ප්‍රතිනිර්මාණය (අද කාලයේ වචනවලට පරිවර්තනය කරන්නේ නම් නැවත කියවීම නැතහොත් නැවත ලිවීම) යන්න ඔහු නිර්වචනය කරන්නේ පහත සඳහන් පරිදිය.

    “සාහිත්‍ය විචාරකයා ප්‍රධාන වශයෙන් ම සහෘදයකු විය යුතුය. කිසියම් නිර්මාණයක් සමඟ එක්ව විසීමේ ශක්තිය ඔහු තුළ තිබිය යුතුය. මෙසේ එක්ව විසීම නිසා ඒ නිර්මාණයේ ගැබ් වූ සියළු රස භාවයෝ කිසිදු අඩු ලුහුඬුවක් නැතිව ඔහු සිත තුළ පිළිසිඳ ගනිති. මුල් නිර්මාණයෙහි ස්වරූපය එලෙසින් ම ඔහුගේ හදවත තුළ පිළිබිඹු වෙයි. සිය ප්‍රති නිර්මාණයට අවශ්‍ය ආභාසය මෙයයි. විචාර කාර්යය ඔහු විසින් කළ යුත්තේ ඉන් ඉක්බිතිවය. එය වූ කලී අන් කිසිවක් නොව සිය හදවත තුළ ඒ රසභාව පිළිසිඳ ගත්තේ කෙසේද යන්න හේතු ප්‍රත්‍යය සහගතව අප වෙත දැක්වීමකි.

    ReplyDelete