Breaking News

යාල් දේවියේ නොයන මිනිසා

යමුද දුවේ අපි යාපනේ ගොස් එන්න
යාල් දේවියෙන් යා හැකි දැන් ඔන්න
වටිනවා නේද අපෙ රට අපි දැක ගන්න
පොඩි උන් ආසා ඇති නොවැ එහේ දැක ගන්න

පිරි මදිමින් අපෙ පොඩි පුතුගේ හිස
අසයි නුඹෙ පියා නිදහස් කරනට මනස
ගණදුර මැදියමේ තිබෙනා අහස් කුස
ළතැවෙයි තවම හිරු කිම අකලට ගියේ බැස
--

නිහඬ ගිණි දණ්ඩය
පපුව තුළ පිපිරිලා
කඳූළු කම්මුල නොදැක
නෙතු කෙවිනි බොඳ වෙලා

මහ පොළොව කැඩපතකි
කිසි රුවක් නොපෙනෙනා
හදවතම සුසානෙකි
නුඹෙ රුවත් බොඳ වෙලා

හදවතේ විසිරු වුන
කැට කැබෙලි අහුලාන
බැරිද මට අටවන්න
යාපනය වෙතට යන
කිසිදාක හමු නොවන
පීළි මත ඇදී යන
කෝච්චියෙ යන ගමන

නැතිමුත් අපට මේ මඟ
අපේ දරුවන්ට බව
කියනවා මතකයි
සිටිදාක නුඹ මගේ ළඟ

නුඹෙ රුහිරු උරා බී
ගොඩනැගුණු ඒ මගෙහි
කිසිදාක හමු නොවන
පීළි දෙක බදාගෙන
මරණයේ මතකයෙන්
කෑගසන දුම්රියේ
මම කෙසේ යන්නදෝ
අපේ දරුවොත් අරන්

-ලසන්ත වික්‍රමසිංහ
යුතුකම සංවාද කවය
www.yuthukama.com

1 comment: