Breaking News

අමරසේකරගේ බලාත්කාරය සහ මර්වින් හෙට්ටිගේලාගේ ලෝකය

පූර්විකාව:

මෙය අනුරසිරි හෙට්ටිගේ මහතා විසින් මව්බිම පුවත්පතට ලියූ ලිපියකට අදාල ප‍්‍රතිචාරයකි. මා විසින් මෙය රචනාකළේ මව්බිම සාහිත්‍ය සංස්කාරකවරයා වන සුසිල් සුරවීර මහතාගේ පූර්ණ අනුදැනුම මතය. ලිපිය කියවා බැලීමෙන් පසුවද සුසිල් මහතා ප‍්‍රකාශ කළේ එය මෙවර මව්බිමේ පලකෙරන බවය. එසේ වුවද අවසාන මොහොතේ කුමක්දෝ අත්භූත හේතුවක් මත මෙම ලිපිය ඉවත් කර ගැනීමට සංස්කාරකවරයාට සිදුවී තිබේ. ප‍්‍රකාශන නිදහස ගැන මතවාදී අභිමුඛ වීම් ගැන නිතර කතා කරන විකල්ප යථාර්තවාදීන්ගේ ලෝකය තුළ මෙවැනි අත්භූත ඉන්ද්‍රජාලික සිදුවීම් බෙහෙවින්ම බහුලය. අදාල සම්පූර්ණ ලිපිය පහත දැක්වෙන අතර මෙවැනි හාස්‍යජනක ඉන්ද්‍රජාලිකයන් අපට හමුවූ පළමු අවස්ථාව මෙය නොවේ.

අමරසේකරගේ බලාත්කාරය සහ මර්වින් හෙට්ටිගේලාගේ ලෝකය

මා මිත‍්‍ර අනුරසිරි හෙට්ටිගේ යනු අප අතර සිටින දක්ෂ හා සම්මානනීය ප‍්‍රබන්ධකතා කරුවෙකි. නිර්මාණකරණයට මිස සෘජු මත සම්පාදනයට ඔහු වැඩි දායකත්වයක් නොදක්වන්නකු වුවද, ඔහු පසුගිය ඔක්තෝබර් පස්වැනිදා මව්බිම ස`දහසට ලිපියක් ලියමින් මතවාදී රාජකාරියකට දායක වී තිබේ. එම ලිපියේ නිමිත්ත පසුගිය සාහිත්‍ය සම්මාන උත්සව අරභයා ආචාර්ය ගුණදාස අමරසේකර මහතා විසින් කරන ලද ප‍්‍රකාශයකි. අනුරසිරි එම ප‍්‍රකාශය පදනම් කර ගනිමින් උත්ප‍්‍රාසවත් බස් වහරින් යුත් ලිපියක් සම්පාදනය කරයි. අනුරසිරිට ප‍්‍රතිචාර දක්වමින් මා ලියන මේ සටහන සැලකිය හැක්කේ ඔහුට පිළිතුරු දීමකට වඩා අනුරසිරිට මෙවන් ලිපියක් ලිවීමට හේතුවූ සැබෑ කාරණා වෙත පාඨක අවධානය යොමු කිරීමේ උත්සාහයක් වශයෙනි. 

විරෝධයේ අහේතුව 

අනුරසිරි තම ලිපිය ආරම්භ කරනුයේ සම්මාන උළෙලවල ජුගුප්සාජනක කා කොටා ගැනීම් ගැන ස`දහන් කරමිනි. එහෙත් ඔහු පෙලන සැබෑ ප‍්‍රශ්නය මෙකී කා කොටා ගැනීම් නොවේ. මූලික ප‍්‍රශ්නය එය නම් අමරසේකරට පෙර පහරදිය යුතු පුද්ගලයෝ ඇති තරම් සිටිති. මෙවර හා පූර්ව සම්මාන උත්සව සියල්ලේ තත්ත්වය සාමාන්‍යයෙන් එසේය.  ඒ සියල්ල අතහැර අමරසේකර වෙත ප‍්‍රවේශවන අනුරසිරිගේ සැබෑ ප‍්‍රශ්නය හුදු සම්මාන ආරවුල් පිළිබ`ද ප‍්‍රශ්නයක් විය හැකි නොවේ. 

අනුරසිරි මේ ලිපිය හරහා අමරසේකර මහතාට එල්ල කරන මූලික චෝදනාව වන්නේ සම්මාන භාර ගනිමින් සම්මාන ක‍්‍රියාවලියට දොස් නැඟීමය. එයින් අමරසේකරට සිදුවූ අවමානය ගැනද අනුරසිරි කම්පාවට පත්වෙයි. ඇත්ත. මා හිතන ආකාරයට අනුවද අමරසේකර තම ප‍්‍රකාශය කළ යුතුව තිබුනේ කිසිදු සම්මානයක් බාර නොගනිමිනි. එසේ වුවද භාර ගනිමින් කළ පළියට ඒ ප‍්‍රකාශයේ අන්තර්ගතයට එයින්  හානියක් සිදුනොවේ. එයින් අමරසේකරට අවමානයක් සිදුවිය හැකි වුවත්,  එය අනුරසිරිගේ කම්පාවට නොව සතුටට හේතු වන්නක් බව ඔහුගේ ලිපියේ ස්වරය හ`දුනන   ඕනෑම අයෙකුට වැටහෙයි. එහෙයින් අනුරසිරිට ඇත්තේ අමරසේකරගේ අවමානය ගැන ප‍්‍රශ්නයක්ද නොවේ. 

මීළඟට සම්මාන සම්බන්ධව අමරසේකර මහතාගේ පිළිවෙත හෙලිකරන අතීත සිදුවීම් දෙකක්ද අනුරසිරි ගෙන හැර දක්වයි. ඒ සිදුවීම් ගැන යමක් කීමට මට හැකියාවක් නැතත්, ඒවා අනුරසිරිගේ විරෝධයට අදාල ප‍්‍රධාන හේතු කාරණාද නොවේ. තවද අමරසේකර යනු සම්මාන උත්සවවලට බැට දුන් ඉතිහාසයේ පළමු මිනිසා ද නොවේ. අනෙක් අතින් හරි වුවද වැරදි වුවද අමරසේකරගේ ප‍්‍රකාශය කිසියම් කාරණයක් සම්බන්ධව කිසියම් පුද්ගලයකුගේ පෞද්ගලික ස්ථාවරයකි. ඒ ප‍්‍රකාශය හුදු අදහසක් විනා රාජ ආඥාවක් හෝ කැබිනට් තීරණයක්  නොවේ. අඩු තරමේ එය කිසිදු සංගමයක, බලාධිකාරියක, සංවිධානාත්මක ආයතනයක නිල තීන්දුවක් හෝ නොවේ. අමරසේකර බලපෑම් සහගත පුද්ගලයකු වූ පලියට ඔහුගේ ප‍්‍රකාශය අසා කිසිවකු සම්මාන දීම නතර නොකරන බවද අමුතුවෙන් කිව යුත්තක් නොවේ. එහෙයින් එවන් තනි පුද්ගල ප‍්‍රකාශයක් පිළිබ`ද අනුරසිරි මේසා කලබල වීමද එතරම් තර්කානුකූල නොවේ. 

මීළඟට අමරසේකරගේ ප‍්‍රකාශයේ එන ඇතැම් කාරණා සලකා බලතොත් ඒවා මෙවර අමරසේකරටත් පෙර හඬ නගා කියා සිටියේ අනුරසිරිගේම දෘෂ්ටිවාදී මිතුරකු වන ප‍්‍රවීණ ලේඛක ටෙනිසන් පෙරේරා විසිනි. සිළුමිණ පුවත්පතට අදහස් දක්වන ඒ මහතා සම්මාන මණ්ඩලවල සිටින එන්.ජී. ඕ කාරයන්ට, ඔවුන්ගේ අරමුණුවලට, මංජුලගේ යක්ෂණීට, අමරකීර්තිගේ කුරුලූ හදවතට හොඳ හැටි දෙහි කපා තිබුණද අනුරසිරිට ඒ වග මෙහිදී නිකමටවත් සිහිපත් නොවේ. එන්.ජී. ඕ වලට දොස් කීමෙන් සිංහල සාහිත්‍යයේ ප‍්‍රගමනයට දැරිය නොහැකි හානියක් සිදුවේ යැයි අනුරසිරි කල්පනා කරන්නේ නම් ඔහු පළමුව කළ යුතුව තිබුණේ සම්මාන නොලැබීමත් සමඟ අවදි වූ තම දෘෂ්ටිවාදී මිත‍්‍රයා සන්සුන් කිරීමය. එසේ වුවද ඒ සියල්ල පසෙක තබා අමරසේකර වෙත හදිසියේ කඩා පනින්නට අනුරසිරිට සිදුවී ඇත්තේ කුමක් නිසාද? මේ කාරණා දෙස විමසිල්ලෙන් බැලීමේදී අමරසේකරගේ ප‍්‍රකාශය ඉක්මවන විරෝධයක් අනුරසිරිගේ ලිපිය තුළ ගැබ්වී ඇති බව පැහැදිලිව පෙනෙයි. වැදගත් වන්නේ ඒ පමණ ඉක්මවන විරෝධයේ පදනම කුමක්දැයි දේශපාලනිකව තේරුම් ගැනීමය.

අනුරසිරි විසින් තම ලිපිය තුළ අමරසේකරගේ ප‍්‍රකාශය බිද හෙලීමට කරුණු දක්වා නැති බවද මෙහිදී සිහිපත් කළ යුත්තකි. ඒ වෙනුවට ඔහු විසින් කර ඇත්තේ අමරසේකර මහතා කියන දේම උත්ප‍්‍රාසවත් බසින් ලිපිය පුරා පුනරුච්චාරණය කිරීමය. කෙසේ හෝ වේවා අනුරසිරිට සැබෑ ප‍්‍රශ්නය ඇත්තේ අමරසේකර මහතාගේ  දේශපාලන භූමිකාව සම`ගිනි. වෙන කුමන වැල්වටාරම් දෙඩවුවද අවසානයේ සියල්ල ඒ වටා කේන්ද්‍රගත වෙයි. ඔහුගේම වදනින් කිවතොත් අනුරසිරිගේ අභිලාෂය වන්නේ ජාතිකවාදී දේශපාලන කුලකයක ප‍්‍රචණ්ඩකාරී මතවාදීමය බලපෑමෙන් පිරිසිදු සාහිත්‍ය ක්ෂේත‍්‍රය මුදවා ගැනීමය. මැදහත් සාධාරණ පුද්ගලයකු වන අනුරසිරි මහතා අමරසේකරගේ දේශපාලන අන්තවාදයට එරෙහි වන්නේ ඒ පදනමිනි. දැන් අපි මේ අපූරු ප‍්‍රවේශය කුමක්දැයි ම`දකට විමසා බලමු. 

යක්ෂයාගේ ආදර්ශය

පළමුකොටම දේශපාලන මතවාදයන්ගේ බලපෑමින් වියෝවූ සාහිත්‍යයක් කොහේ තිබෙන්නේදැ යන ප‍්‍රශ්නය අනුරසිරි ලවාම විස`දාගත යුත්තකි. සාහිත්‍යය කිසිදා ගැලවිය නොහැකි තරමට දේශපාලනය හා වෙලී පවතින්නක් බව අමුතුවෙන් කිව යුත්තක් නොවේ. එහෙත් ඒ සාමාන්‍ය පැවැත්මට ඔරොත්තු නොදෙන තරමේ සංවිධානාත්මක මතවාදී බලපෑම් විටෙක ගැටලූ සහගත විය හැකි බව මමද පිළිගනිමි. එසේ වුවද එහි තේරුම සාහිත්‍යය, සංවිධානාත්මක මතවාදී බැ`දීම්වලින් සපුරා නිදහස් විය යුතු බවද නොවේ. දේශපාලන සත්වයන් වශයෙන් එවන් පූර්ණ නිදහසක් ඉල්ලා සිටීමට අපට හැකියාවක් නැත. එය එසේ තිබියදී හෝ වේවා සාහිත්‍ය කෙරේ වූ පමණ ඉක්මවන දේශපාලන බලපෑම්වලට එරෙහිවීම සාධාරණ යැයි ම`දකට සිතමු.  එහෙත් එසේ එරෙහිවන්නෙකට අමරසේකරට පෙර එරෙහිවිය යුතු කොතෙකුත් දේ ඇති බව මෙහිදී කිසිවකුට අමතක කළ හැකි නොවේ. අමරසේකරද අහිංසක පුද්ගලයකු නොව දේශපාලන ප‍්‍රවාහයක නියෝජිතයෙකි. එහෙයින් ඔහු සම්බන්ධව යමකුට විවේචනයක් තිබීම ප‍්‍රශ්නයක් නොවේ. එහෙත් ඒ විවේචනය පොදු සමාජීය අර්ථයෙන් සාධාරණ එකක් වන්නේ රටේ සැබෑ සමාජ දේශපාලන පසුබිම තුළ ඊට වලංගුභාවයක් ලබාදිය හැක්කේ නම් පමණි. අනුරසිරිගේ විවේචනය එවැන්නක්ද?

අමරසේකර යනු බලයක් සහිත වුවද තනි පුද්ගලයෙකි. එසේ වුවද එදා මෙදා තුර මෙරට කි‍්‍රයාත්මක වූ රාජ්‍ය නොවන සංවිධාන ප‍්‍රමාණය දසදහස් ගණනකි. ඒ වටා සෘජුව හා වක‍්‍රව ඒකරාශී වී සිටි ශාස්ත‍්‍රීය බුද්ධිමතුන්, සාහිත්‍යවේදීන්, කවියන්, කලාකරුවන් සංඛ්‍යාවද අති විශාලය. ඔවුන් කටයුතු කරන ලද්දේද කලාවේ ප‍්‍රගමනයකට වඩා තමන්ගේ දේශපාලන න්‍යාය පත‍්‍ර මත පිහිටා බව අමුතුවෙන් ස`දහන් කළ යුත්තක් නොවේ. එන්ජී ඕ සහිතව හෝ රහිතවද එහෙත් ඔවුන්ගේ මහා පොදු න්‍යාය පත‍්‍රයක් වෙනුවෙන් පෙල ගැසුනු සංවිධානාත්මක ප‍්‍රයත්නයන් රාශියක් මෙරට ක‍්‍රියාත්මකව තිබිණි. විවිධාකාර වෙබ් අඩවි, පත්තර, ස`ගරා, කොළඹ කේන්ද්‍රීය කව, සංසද, කේන්ද්‍ර, ආදී එවන් නහුතයක් විකල්ප ආයතන මෙරට තුළ කි‍්‍රයාත්මක වූයේ අන්ත පක්ෂග‍්‍රාහී දේශපාලන න්‍යාය පත‍්‍ර මත පිහිටා මිසක සාහිත්‍යයේ හෝ රටේ යහපත පිළිබ`ද අවංක කල්පනා සහිතව නොවේ. අද මෙරට සාහිත්‍ය ක්ෂේත‍්‍රයේ ආධිපත්‍ය හිමිකරගෙන ඇත්තේද මේ පිරිස විසිනි. තම තමන්ගේ දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් සාහිත්‍ය කලාව හා ශාස්ත‍්‍රීය විශයන් වඩාත්ම දරුණු ලෙස දූෂණයට ලක්කළ බුද්ධිමය අපරාධකරුවන් රටට බිහිකර ඇත්තේ මේ ගෝත‍්‍රය විසිනි. එහෙයින් දේශපාලන බලාත්කාරයෙන් සාහිත්‍ය මුදවාගන්නට දිවි දෙන්නෙකු පළමුව එරෙහි විය යුත්තේද මේ පරගැති බල අධිරාජ්‍යයට මිස ගුණදාස අමරසේකරට නොවේ.

එහෙත් අද අනුරසිරිගේ ප‍්‍රවේශය වී ඇත්තේ කුමක්ද? ඒ තුළ අපට හමුවන්නේ එන්.ජී. ඕ සංවිධාන, කොටි හිතවාදීන්, බටහිර බලපෑම්, ආදී සියල්ල විහිලූවට හා සැහැල්ලූවට ලක් කරමින්, අමරසේකරගේ මතවාදී බලාත්කාරයක් ගැන පමණක් ගැඹුරින් සලකා බලන අනුරසිරි කෙනෙකි. අමරසේකරගේ සාහිත්‍ය බලාත්කාරය ගැන කම්පා වන මේ පුද්ගලයා මංජුල වෙඩිවර්ධන ගැනද සාඩම්බරයෙන් ස`දහන් කරයි. අද අන්ත පක්ෂග‍්‍රාහී පුවත්පත් කඩමාලූ සමඟ එක්වී මිලේච්ඡ මුස්ලිම් අන්තවාදය සාධාරණීකරණය කරන නිවේදනවලට තම නම යොදමින්  සිටින්නේද මේ අනුරසිරි හෙට්ටිගේම මිස අන් කවරකුවත් නොවේ. එවැනි පුද්ගලයකු සාහිත්‍යයට එරෙහි දේශපාලන බලාත්කාරයන් ගැන කතා කිරීම අනුරසිරිගේ ගෙල කැපූ මර්වින් ඇමතිවරයා මැරකමට එරෙහිව හඬ නැඟීම පන්නයේ ලෝක විහිළුවකි. දිගු විශ්ලේෂණ සියල්ල පසෙක තබා පෙර කී වෙඩිවර්ධන පිළිබද කාරණය පමණක් සලකා බැලූවද අනුරසිරි කුමන ආකාරයේ හෙට්ටිගේ කෙනෙක්දැයි වටහා ගැනීමට එයම  ඕනෑවටත් වඩා ප‍්‍රමාණවත්ය. අද අනුරසිරි විසින් අමරසේකර බිම හෙලා ඔසවා තබන්නට යන ඔහුගේ ආදර්ශමත් යක්ෂයා කවරෙක්ද? 

ඒ යක්ෂයාට හොඳ කවිකමක් ඇති බව සැබෑවක් වුවද ඔහු ඒ කවිකම තම දූෂිත දේශපාලනය වෙනුවෙන් කාටත් වඩා නරක ලෙස අවභාවිතයේ යෙදවූ සාහිත්‍යමය අපරාධකාරයෙකි. මංජුලගේ ජීවිත කතාව හෝ යක්ෂණීගේ කතාව පසෙක තබා ඔහු ලියූ මාතෘකාවක් නැති මාතෘභූමිය වැනි කවිපොතක් පමණක් සලකා බැලූවද මේ අවභාවිතයේ තරම මනාව වටහා ගත හැක්කකි. උතුරේ ප‍්‍රශ්නය පිළිබඳ කවි බසින් ලස්සන බොරු ලියූ ව්‍යාජ කවියන් අතර මංජුල පෙරමුණේ සිටින්නෙකි. ඔහු ඒ ප‍්‍රශ්නය දෙස බලන ලද්දේ කවියකුගේ මානුෂික ඇසකින් නොව අන්ත පක්ෂග‍්‍රාහී කොටි සාමාජිකයකුගේ ඇසකිනි. දෙමළකම පිළිබඳ අතිශෝක්තියට නැංවූ ගැටලූ මිස මනුෂ්‍යත්වය පිළිබඳ සැබෑ ගැටලූවක් කිසිදා මංජුලට නොතිබූ අතරම ඔහුගේ එකී ආස්තානය සේවය කළේද ඊනියා දෙමල හෝ සිංහල විමුක්තියක් වෙනුවෙන් නොව මිලේච්ඡ කොටි ත‍්‍රස්තවාදය වෙනුවෙනි. යුද්ධයක් වැනි සංකීර්ණ ප‍්‍රශ්නයක් විසදීමට ගන්නා කිසිදු ක‍්‍රියාමාර්ගයක් සර්ව සාධාරණ විය නොහැකි වුවත්, මංජුලලාගේ ප‍්‍රවේශය සැලකිය හැක්කේ ඒ ප‍්‍රශ්නය හමුවේ ගත හැකිව තිබූ අසාධාරණම ප‍්‍රවේශය වශයෙනි. ඒ ප‍්‍රවේශය අසාධාරණ වන්නේ හුදු සිංහල, බෞද්ධ හෝ ලාංකීය අර්ථයකින් නොව පොදු මහත් මනුෂ්‍යත්වයේ අර්ථයෙනි. එසේ වුවද මනුෂ්‍යත්වය ගැන වැඩියෙන්ම නන් දොඩවන ඇතැම් සාහිත්‍යකරුවෝ මේ නරුම මතවාදයේ නිත්‍ය කොටස්කරුවන් වූහ. එය ඔවුන්ගේ මෝඩකම හෝ තක්කඩිකම පමණක් නොව ඔවුන් වටා පැවති විශාල මතවාදීමය හා සංවිධානාත්මක දේශපාලන ව්‍යාපාරයකද ප‍්‍රතිපලයක් වූ අතර උතුරේ ප‍්‍රශ්නය සම්බන්ධව වඩාත් මිලේච්ඡතම හා වඩාත්ම මානව විරෝධී ආස්තාන වෙනුවෙන් පෙනී සිටි මංජුලලා වැනි අත් කපා ගත යුතු කවියන් නිර්මාණය කරන ලද්දේ එම ව්‍යාපාරය විසිනි. 

එසේ නම් එවන් වූ ව්‍යාපාරයක් වෙනුවෙන් පෙනී සිටින අනුරසිරි හෙට්ටිගේ වැන්නකු අමරසේකරගේ බලාත්කාරයක් ගැන කම්පා වීම බුද්ධිමත් පාඨකයන් විසින් එතරම් බැරෑරුම් ලෙස ගත යුත්තක් නොවේ. මන්ද යත් අමරසේකරගේ දේශපාලන ප‍්‍රවේශය කිසි ලෙසකින්වත් වෙඩිවර්ධනගේ තරම් ආත්ම මූලික, ව්‍යාජ හා මානව විරෝධී ප‍්‍රවේශයක් නොවන බැවිනි. 

විකල්ප භූමියේ අස්වැන්න

අනුරසිරි වනාහී හොඳ නිර්මාණ ශක්තියකින් යුත් කතාකාරයකු වුවද නිරවුල්ව ප‍්‍රශ්න දෙස බැලීමට ඔහුගේ දේශපාලන මතවාදය ඔහුට බාධා පමුණුවයි. මගේ මිතුරා ඇද වැටී සිටින මතවාදී ලිංපතුලෙන් ගොඩඒම සඳහා තම නිර්මාණ බුද්ධිය ඔහුට තවමත් මහෝපකාරී වී නොතිබීම කනගාටුවට කරුණකි. එය සැලකිය හැක්කේ හුදු ඔහුගේම වරදකටත් වඩා ඔහු පය ගසා සිටින විකල්ප භූමි භාගයම වසා ගත් අර්බුදයක් වශයෙනි. මා විසින් නොයෙක් තැන්වලදී ගෝස්තරවාදී විකල්ප ගෝත‍්‍රය ලෙස හඳුන්වා ඇති මේ දූෂිත බලවේගයේ ග‍්‍රහණයට නතුවූ පළමුවැනියා අනුරසිරි නොවේ. 

අද ප‍්‍රභාකරන්ට හෝ බොකෝ හරාම් කල්ලියට ජාතිවාදී යැයි කීමට නොඇරෙන කටවල් වලින් අමරසේකර ජාතිවාදී යැයි කෑගසන මන්ද මානසික දරුවන් උත්පාදනය වී ඇත්තේ මේ ගෝත‍්‍රය තුළිනි. ෆුල්බ‍්‍රයිට් වට්ටෝරුවලට අනුව රටේ ඉතිහාසය කනපිට හරවා කතන්දර ලිවීමෙන් සමාජ විප්ලවයක් සිදුකළ හැකි යැයි සිතන අඳ බාලයන් නිර්මාණය වන්නේ මේ ගෝත‍්‍රය තුළිනි. මහපොළවේ ශක්තිමත්ව තිබූ සමාජ දේශපාලන ව්‍යාපාර කොළඹ සම්මන්ත‍්‍රණ ශාලා තුළ කොටු කිරීමට අවශ්‍ය ඔල්මොරොන්දම්  මතවාද සකසන ලද්දේද මේ ගෝත‍්‍රය විසිනි. සියලූ සමාජ සම්මුතීන් අධිපති දෘෂ්ටිවාද ලෙස සලකමින් තිරිසන්කම කුළුගන්වන සාහිත්‍යයක් සඳහා පශ්චාත් නූතන අටුවා සැපයීමද මේ ගෝත‍්‍රයේ අවශ්‍යතා අනුවම සිදුවන්නකි. අද බාල සිල්ලර විද්යුත් මාධ්‍ය විසින් සිදුකරමින් තිබෙන සමාජ පාදඩකරණ කි‍්‍රයාවලියේ ශාස්තී‍්‍රය වැඩ කොටස ඉටු කරමින් සිටින්නේද මේ ගෝත‍්‍රය විසින් මිසක අන් කවරකු විසින්වත් නොවේ. අවසාන වශයෙන් ගත්කළ පදනමකින් තොරව අමරසේකරට බැටදෙන අනුරසිරිලාගේ මනසද මේ ගෝත‍්‍රයේම සාමූහික නිර්මාණයකි. නිර්මාණකරණය කුමක් වෙතත් මතධාරියකු ලෙස අනුරසිරි පෝශණය ලබන්නේද අමරසේකරගේ විවේචනයට නතුවන දූෂිත දේශපාලන පරිසරය තුළිනි. කුමන පරිසරයෙන් හෝ පෝශණය ලැබීමේ වරදක් නැතත් අව්‍යාජ බුද්ධියකින් යුත් ලේඛකයා තමන්ගේ පරිසරය ඉක්මවා සිතීමට කවදා හෝ සමත් විය යුතුය. නිර්මාණකරුවා කෙසේවෙතත් අනුරසිරි හෙට්ටිගේ නම් වන දේශපාලන මතධාරියා තවමත් සැලකිය හැක්කේ තමන්ගේ චූල පරිසරය ඉක්මවා සිතීමේ හැකියාව අත්කර නොගත් නොමේරූ ලදරුවෙකු වශයෙනි. එය ඔහුගේ පටු මතවාදී ලෝකය දෙස බලා එළඹීමට සිදුවන සැබෑ නිගමනයක් මිස ඔහුට අවමන් කිරීම සඳහා කරන ප‍්‍රකාශයක් නොවේ. අවංක උත්සාහයක් තිබේ නම් තමාගේ ගෝත‍්‍රයට වඩා සැබෑ ලෝකය විශාල බව වටහා ගැනීමට අනුරසිරිගේ නිර්මාණ බුද්ධිය  ඕනෑවටත් වඩා ප‍්‍රමාණවත් යැයි මම විශ්වාස කරමි. 

බෞද්ධ කෝකටත් තෛලය

අනුරසිරි තම ලිපිය අවසාන කරනුයේ සිංහල බෞද්ධ සමාජයේ අතාර්කික ආගමික බලාත්කාරයක් ගැනද සඳහන් කරමිනි. ඔහු පසුගිය දිනවල ආගමික සහජීවනයේ උසස්ම පලය වන ඉස්ලාම් අන්තවාදයට පක්ෂපාතී නිවේදන ස`දහා නම ඇතුලත් කරන ලද්දේද එකී බෞද්ධ බලාත්කාරයෙන් ලෝකය බේරාගැනීමට විය යුතුය. අනුරසිරිගේ දෘෂ්ටිවාදී මිතුරන් පවසන ආකාරයට ශී‍්‍ර ලංකාව කුඩා පස් ගොඩකි. එහෙත් තව රටවල් දෙසිය ගණනක් හා සංස්කෘතීන් ඊටත් වැඩි ප‍්‍රමාණයක් මේ විශාල ලෝකය තුළ තිබේ. මේ අනෙක් රටවල් ගැන, අනෙක් සංස්කෘතීන් ගැන, ලෝක දේශපාලනය ගැන, ඉතිහාස හා වර්තමාන සිදුවීම් ගැන ඉතාම මූලික අවබෝධයක් හෝ අනුරසිරි ලැබ තිබුණේ නම් යහපත්ය. එවිට ඔහුට සිංහල බෞද්ධ සමාජයේ ප‍්‍රබලතා පමණක් නොව දුබලතා දෙසද මැදහත්ව බැලීමට හැකි වනු ඇත. එහෙත් මෙතැන ඇත්තේද අනුරසිරිගේ සාමාන්‍ය දැනීම ගැන ගැටලූවකට වඩා ඔහුට වැළ`දී ඇති පරපුරේ ව්‍යාධිය සම්බන්ධ ගැටලූවකි. සිංහල බෞද්ධකමට පහරදීමෙන් තොරව අධෝවාතයක්වත් පිට කළ නොහැකි වීමේ ප‍්‍රශ්නයද විකල්ප පරම්පරාවෙන්ම ඔහුට උරුම වූ ප‍්‍රවේණික රෝගයකි. ඒ රෝගයේ නිධානය කුමක්දැයි වටහා ගැනීමේ අභ්‍යාසය ස`දහා තම නිර්මාණ බුද්ධිය ම`දකට මෙහෙයවන ලෙස මම අනුරසිරිගෙන් ඉල්ලීමක් කිරීමට කැමතිය. ඒ ඉල්ලීම කිසිදු අමනාපයක් නිසා නොව එවන් ප‍්‍රවේශයක් ඔහුට මෙන්ම රටටද වඩා පලදායක වනු ඇතැයි මා අවංකවම විශ්වාස කරන නිසාය.

ඉසුරු ප්‍රසංග
යුතුකම සංවාද කවය
www.yuthukama.com

No comments