Breaking News

මහින්දට බෑ වීම…

තුන්වරක් චක්කරේ...

මහින්දට තුන්වරක් පුළුවන්ද? අද දේශපාලන සමාජයේ මාතෘකාව බවට පත් කර ඇති මාතෘකාව එයයි. ජනාධිපතිවරණය වැනි රටට ඉතා තීරණාත්මක සමයක ඇති විය යුතු ප්‍රතිපත්ති , ඉදිරි දැක්ම ආදී ගැන සිදුවිය යුතු අත්‍යවශ්‍ය කතිකාව යට යවමින් අවශේෂ කරුණක් පිළිබඳ සමාජයේම අවධානය යොමු කරවන ප්‍රවණතාවයක් දැන් කලක සිටම ක්‍රියාත්මකව තිබේ. විශේෂයෙන් පසුගිය ජනාධිපතිවරණයේදී දේශපාලනයට ආධුනිකයෙකු වූ සරත් ෆොන්සේකා මහතා 'පොදු අපේෂක ' පුවරුවද එල්ලා දේශපාලන පිටියට තල්ලු කර සිදුකළ දේශපාලන විකෘතියේම දිගුවක් ලෙස අද "තුන්වරක් බෑ" යනුවෙන් දිගහැරෙන මේ කතාබහද සැලකීම ආසාධාරණ නොවේ.
සමහරකු බටහිර වූ පලියට බටහිර  සියල්ලෙහිම නුගුණ දැක්කද, තවත් සමහරකු අනෙක් පසින් අප බටහිර අනුකාරක සමාජයක් යැයි චෝදනා කලද බොහෝ බටහිර රටවල මේ තත්වය දක්නට නොමැත. විශේෂයෙන් ඇමරිකාව , එංගලන්තය ආදියෙහි මෙවැනි ප්‍රමුඛ මැතිවරණයකදී මූලිකත්වය ගන්නේ රටේ ඉදිරි ගමනට වැදගත් වන ජාතික ප්‍රතිපත්ති ගැන මිසක මෙවැනි දෙකයි පනහේ සිල්ලර මාතෘකා ගැන නම් නොවේ. මාධ්‍ය ඇතුළු සියළුම ධාරාවන් ඒ වකවානුවේ තම මාතෘකාව බවට පත් කරගන්නේ එයයි.  බොහෝ විට මෙවැනි හදිසියේ පැලකළ මාතෘකා වෙනුවට  ආර්ථික පිළිවෙත ,ආරක්ෂාව ,  අධ්‍යාපනය , සෞඛ්‍ය,  විදෙස් සබඳතා ආදී ප්‍රතිපත්තිමය කාරණා වලට සම්පූර්ණ බරක් දෙන අයුරු ඒ බොහෝ තැන්වලදී නිරීක්ෂණය කළ හැක.
නමුත් අවාසනාවකට අප කවුරුන් හෝ නිර්මාණය කර දෙන එදා වේලට පමණක් සරිලන මාතෘකාවක සිර වෙමින් සිටිමු.

සරත් එන් සිල්වා මහතාගේ තර්කය.

"මහින්දට තුන්වරක් බෑ" යන තර්කය මෑතකදී මුලින්ම ඉදිරිපත් කලේ හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතාය. ඔහුගේ තර්කයේ මූලික හරය ඇත්තේ 18 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ඉවත් කල 31/2 වගන්තියේය. 31 වෙනි ව්‍ය වස්ථාවේ 2 වැනි අනු ව්‍යවස්ථාව යටතේ සඳහන්ව තිබුණේ ‘දෙවරක් ජනතාව විසින් පත් කරනු ලැබූ තැනැත්තෙක් ඉන් පසුව ජනාධිපති වශයෙන් පත්කර ගැනීමට නුසුදුස්සෙක් වන්නේය’ යනුවෙනි.
සරත් එන් සිල්වා මහතාගේ නීති තර්කයේ අඩංගු වන්නේ 2010 ජනවාරි 27 වනදින දෙවනවර ජනාධිපතිධූරයට පත් වූ විගසම ඒ 31/2 වගන්තියට අනුව මහින්ද රාජපක්ෂ මහතා තුන්වන වර ඉල්ලීමට නුසුදුස්සෙකු වී ඇති බවයි. 18 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් 31/2 වගන්තිය ඉවත් කලද එය අතීතයට බලාපාන පරිදි සංශෝධනය නොකිරීම නිසා 2010 ජනවාරි 27 වනදා සිදුවූ 'තුන්වනවරයට නුසුදුස්සකු වීම' ඉවත්ව නැති බවයි. අතීතයට බලපාන අයුරින් නීති වෙනස් කරගත් ආකාරය පිළිබඳ උදාහරණද  ඒ සඳහා අර්ථකථන පනත තුල අඩංගු මගපෙන්වීම්ද ඒ මහතාගේ පැහැදිලි කිරීමේ අන්තර්ගතය.

ගෝමින් දයාසිරි මහතාගේ මතය.

නමුත් මීට ප්‍රතිවිරුද්ධ ප්‍රධාන නීති තර්කය මතු කරන පාර්ශවයේ ප්‍රබලයෙකු ලෙස සැලකිය හැකි නීතිඥ ගෝමින් දයාසිරි මහතා ඒ පිළිබඳ පැහැදිලි කරන්නේ මෙසේය. ගෝමින් දයාසිරි යනු උතුර හා නැගෙනහිර පලාත් නීත්‍යානුකූලව වෙන් කිරීම , සුනාමි සහන මණ්ඩලය අහෝසි කිරීම ආදී පසුගිය ඉතිහාසයේ රටට දායාද කල තීරණාත්මක ජයග්‍රහණයන්හිදී නීතිය ඉදිරියේ පෙනීසිටී යෝධ ත්‍රයිකාවේ (එස් එල් - එච් එල් - ගෝමින් ) එක් ප්‍රබලයෙකි.

"ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 31 (2) උප වගන්තිය අනුව ජනාධිපතිවරයකුට එම ධුරය දැරිය හැකි වාර ගණන 2 කට සීමා කර තිබුණා. එහෙත් 18 වැනි සංශෝධනයෙන් එම කොන්දේසිය ඉවත් කර තිබෙනවා. තුන්වැනි වරට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සුදුස්සකු හෝ නුසුදුස්සකු වීමට වැදගත් වන්නේ අදාළ දිනයයි. අදාළ දිනය වන්නේ ජනාධිපතිවරණයට නාම යෝජනා බාර දුන් දිනයයි. ඒ අනුව ජනාධිපතිවරයාට තුන්වැනි වරටත් තරග කිරීමට බාධාවක් නැහැ. මෙයට විරුද්ධව මත ප‍්‍රකාශ කරන පිරිස් 92 වගන්තිය පිළිබඳ කිසිවක් නොකියා 31 වැනි වගන්තිය පිළිබඳව කතා කරනවා. තුන්වැනි වතාවට ජනාධිපතිවරණකට ඉදිරිපත් විය නොහැකියැයි ප‍්‍රකාශ කරන පුද්ගලයන් කරන්නේ පැරණි නීතියක් යළි බල ගැන්වීමට උත්සාහ කිරීමක්. එම නීතිය දැන් අහෝසියි. දැනට ව්‍යවස්‌ථාවේ පවතින ආකාරයට ජනාධිපතිවරයකුට තරග කිරීමට හා තනතුරේ සිටින වාර ගණන සීමා කිරීමක්‌ නැහැ. නමුත් මෙහිදී වැදගත් වන්නේ 31 (2) වගන්තිය අවලංගු කිරීම පමණක්‌ නොවේ. ව්‍යවස්‌ථාවේ 92 වගන්තියේ කොන්දේසිය මගින් ජනාධිපති ධුරයට ඉදිරිපත් වන අපේක්ෂකයකුට තරග කළ හැකි වාර ගණන දෙකක්‌ බව සඳහන් වෙතත් එයද 18 වැනි ව්‍යවස්‌ථා සංශෝධනයෙන් ඉවත්කොට තිබෙනවා.
 ජනාධිපතිවරණයකදී අප විමසා බැලිය යුත්තේ මහින්ද රාජපක්ෂ‍ ජනාධිපතිවරයාට ඒ සඳහා ඉදිරිපත් වීමට සුදුසුකම් තිබේද නැද්ද යන්නයි. 92 වගන්තිය 18 වැනි ව්‍යවස්‌ථා සංශෝධනයෙන් ඉවත් කිරීම නිසා ඔහුට තරග කිරීමට අවස්‌ථාව තිබෙනවා. මෙයට කෙටි උදාහරණයක්‌ ගනිමු. අතීතයේදී බ්‍රිතාන්‍යයේ කාන්තාවන්ට ඡන්ද බලය නොතිබූ අතර අපේක්ෂකයන් වීමට ද අයිතියක්‌ තිබුණේ නැහැ. නමුත් පසු කාලයකදී සර්වජන ඡන්ද බලය ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම හිමි වූ නිසා කාන්තාවන්ට ද අපේක්ෂටකයන් ලෙස මැතිවරණවලට ඉදිරිපත් වීමටද අවස්‌ථාව ලැබුණා. මාග්‍රට් තැචර්ට බ්‍රිතාන්‍යයේ අගමැති ධුරයට පත්වීමට ලැබුණේ ද ඒ නිසයි. නීතියක්‌ වෙනස්‌ කළ පසු එහි කලින් තිබූ කොන්දේසි වෙනස්‌ වෙනවා. “

ගෝමින් දයාසිරි මහතා මතුකරන මෙම කරුණට අමතරව සරත් එන් සිලවා මහතාගේ තර්කය දුබල කරන තවත් වැදගත් කරුණක් ඒ මහතාගේම කතාව තුලම අන්තර්ගතවේ. එනම් 31/2 වෙනි ව්‍යවස්ථාවේ සඳහන්ව තිබුණු ‘දෙවරක් ජනතාව විසින් පත් කරනු ලැබූ තැනැත්තෙක් ඉන් පසුව ජනාධිපති වශයෙන් පත්කර ගැනීමට නුසුදුස්සෙක් වන්නේය’ යන වගන්තිය අතීතයට බලපාන පරිදි 18 වන සංශෝධනයේදී වෙනස් කරගැනීමට අතපසු වී ඇති බව සරත් එන් සිල්වා මහතා පවසයි. එහිදී ඔහු දෙවන වතාවට පත් වීම යන කරුණ සලකා බලන්නේ ජනාධිපතිවරණය පැවැත්වූ 2010 ජනවාරි 26 දිනයි.

නමුත් නීතිය පිළිබඳ ප්‍රාමාණික උගතුන් බොහෝ දෙනෙක් පෙන්වා දෙන පරිදි ජනාධිපතිවරයා තම දෙවනි ධූර කාලය නිල වශයෙන්  ආරම්භ කලේ 2010 ජනවාරි 26 දින  නොව 2010 නොවැම්බර් 19 වන දිනයි.  එලෙස දෙවන ධූර කාලය ආරම්භ කරන්නට පෙර , එනම් 2010 සැප්තැම්බර් 09 වන දින 18 වන සංශෝධනය සම්මත කරගෙන ඇත. ඒ අතින් බැලූකල ජනාධිපතිවරයා දෙවන ධූර කාලය නීත්‍යානුකූලව ආරම්භ කරන නොවැම්බර් 19 වන දින වන විට 31/2 වගන්තියක් ව්‍යවස්ථාවේ අඩංගු නොවේ. ධූර කාලය ආරම්භවන්නේ කවදාද යන්න පිළිබඳ අවිනිශ්චිතතාවය නිසාම ජනාධිපතිවරයා විසින්ම ව්‍යවස්ථාවේ 129 වන වගන්තිය යතතේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඒ පිළිබඳ විමසීමක් කර තිබූ අතර ශ්‍රේෂ්ඨාධිකරය පෙන්වා දී තිබෙනුයේ දෙවනි ධූර කාලය ආරම්භ වන්නේ 2010 නොවැම්බර් 19 වන දින බවයි.

මේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ගැන සරත් එන් සිල්වා මහතා හිතාමතාම අඩු බරක් දී කතා කරන අයුරක් පෙනෙන්නට තිබේ. ඔහු පුවත් පතක් සමග සාකච්චාවකට එක් වෙමින් පවසා තිබුණේ ඒ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව වැරදි බවයි. හිටපු අගවිනිසුරුවරයෙකු වූ පළියට සරත් එන් සිල්වා මහතාගේ කතා දේව වාක්‍ය‍යක් වන්නේවත් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව නිෂේධ කරන්නේවත් නොවේ. සරත් එන් සිල්වා මහතා අගවිනිසුරු ධූරය දැරූ අවධියේ ලබා දුන් සමහර තීරණාත්මක තීන්දු පිළිබඳ බාහිර සමාජයේ දැඩි ප්‍රතිවිරෝධතා පැවති බව රහසක් නොවේ. නමුත් එය එසේ වූවා කියා එතුමා අගවිනිසුරුවරයා ලෙස ලබා දුන් තීන්දු නිෂේධ වූයේ නැත.  වැදගත්වන්නේ අධිකරණය හරහා ලැබෙන තීන්දුව කුමක්ද යන්නයි.

මේ සියළු කරුණු වලින් පැහැදිලි වන ප්‍රධාන කරුණ නම් අතන මෙතන ජනප්‍රියතාව උදෙසා වාද කිරීමෙන් මෙය විසඳා ගත හැකි නොවන බවයි. විසඳා ගත හැකි එකම ක්‍රමය සරත් එන් සිල්වා මහතාම කියන පරිදි අධිකරණයම වේ. කවුරුන් හෝ එය නොසලකා ජනප්‍රිය ගැලරි දේශපාලනයේ නිරතවේනම් එය තනිකරම තක්කඩිකමකි.

දේශපාලන බැරි බැරියාව...

මේ දෙපාර්ශවයම නීති පොත් පෙරලා ඉදිරිපත්කරන මත සැලකූ විට පැහැදිලි වන එක් කරුණක් නම් සැමදෙනාටම සලරල එකඟ විය හැකි පහසු සරල අර්ථනිරූපණයක් නැති බවයි. එයිනුත් විශේෂයෙන් සරත් එන් සිල්වා නියෝජනය කරන මතය කිසිඳු විචිකිච්චාවකින් තොරව පිළිගත හැකි සුපැහැදිලි අර්ථ නිරූපණයක් නොවන බවයි. එනම් එයට එරෙහිවද ප්‍රබල නීතිමය තර්ක ඉදිරිපත්ව ඇති බවයි.


නමුත් ඒ සියලු අපැහැදිලිකම් මධ්‍යයේ වුවත් දේශපාලන පක්ෂ සමහරක් ඒ දුර්වල තර්කය මත පදනම්ව ජනාධිපතිවටණයට ඉදිරිපත්වීම/නොවීම යන තීරණාත්මක කරුණ පිළිබඳ තීරණ ගන්නා අයුරු පෙනෙන්නට තිබේ. විශේෂයෙන් ජනතා විමුක්ති පෙරමුණත් සරත් ෆොන්සේකා මහතාත් එලෙස ජනාධිපතිවරණ වර්ජනය කිරීමට අවශ්‍ය පදනම ලෙස ඒ දුර්වල තර්කය යොදා ගනිමින් සිටී. නමුත් එක්සත් ජාතික පක්ෂය මේ මොහොතේ එවැනි අපරිණත හැසීරීමක් නොපෙන්වීම පැසසිය යුතුය. ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳ සුභවාදී බලාපොරොත්තුවක සිටින එජාපය මේ බැරි බැරියාවේ සීනි බෝල තර්කවල එල්ලීම වෙනුවට ශ්‍රීලනිප යේ ඡන්ද පදනම ආක්‍රමණය කල හැකි දේශපාලන සංධානයක් ගොඩනැගීමට වෙහෙසෙමින් සිටිනු පෙනේ.

ජනතා විමුක්ති පෙරමුණ 18 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත වූ අවධියේ දස අතේ දිවුරා ප්‍රකාශ කලේ වත්මන් ජනාධිපතිවරයාට ජනාධිපතිධූරයට ඉල්ලිය හැකි වාර ගණනේ සීමාව අහෝසි කරගත් බවයි. ඒ හරහා ප්‍රජාතන්ත්‍රවාදය මිහිදන් වූ බවද ජවිපෙ පෙන්වා දුන්නේය.මේ එකල ජවිපෙ නායකයන් කිහිප දෙනෙක් 18 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ පළ කල අදහස් කිහිපයකි.

මේ ජවිපෙ ජාතික සංවිධායකවරයා එවකට පළකළ අදහසයි:
“2010 සැප්තැම්බර් 8 වන දින අපේ රටේ ඉතිහාසයට අපකීර්තිමත් පරිච්ඡේදයක්‌ එකතු කළේය. ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ තිබූ අවසන් විශ්වාසයත් පවුලේ සුසාන භූමියේදී මිහිදන් කර අවසන් කටයුතු කළේය. 18 වැනි සංශෝධනය අරමුණු කර ඇත්තේ රාජපක්ෂව පවුල සදාකාලික බලයේ සිටීමයි. එයට තිබූ සියලු බාධා ඉවත් කර ඇත. එය ජනාධිපති ධුර කාලය දැරීමේ වාර ගණන සංශෝධනය කිරීම පමණක්‌ නොව වෙනත් ආකාරයකින් ඇති විය හැකි සියලු බාධා ඉවත්කරගෙන ඇත. “
- බිමල් රත්නායක : ජවිපෙ ජාතික සංවිධයක (2010-09-12)

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලය ඒ පිළිබඳ නිකුත්කල මාධ්‍ය නිවේදනයේ මෙලෙස සඳහන්ව තිබිණ.
18 ව්‍යවස්‌ථා සංශෝධනය මගින් සිදු කර ඇත්තේ එක්‌ පුද්ගලයකුට විධායක ජනාධිපති ධුරය දැරීමට ඇති වාර දෙකේ සීමාව ඉවත් කිරීමයි. ඒ හරහා ගොඩනැගීමට උත්සාහ කරන්නේ මාකොස්‌ පන්නයේ ඒකාධිපති පවුල් පාලනයක්‌ බව පැහැදිලිය. “
- ජනතා විමුක්‌ති පෙරමුණේ දේශපාලන මණ්‌ඩලය - (2010-09-10 )

එවකට ජවිපෙ නායකත්වය දැරූ ජවිපෙ විසින් බිහිකල මූලෝපාය පිළිබඳ විශේෂඥයා ලෙස බොහො දෙනා සැලකූ සොමවංශ අමරසිංහ මහතා පළ කළේ මෙවැනි අදහසකි.

මේ ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත වුණොත් ජනාධිපති ධුරයේ වාර ගණන ගැන කිසිදු සීමාවක්‌ නැහැ. දාහත්වැනි සංශෝධනයත් අහෝසි වෙනවා. ජනපති ධුරයේ වාර ගණන සීමා නොකිරීම, දාහත්වැනි සංශෝධනය අහෝසි කිරීම යන කරුණු දෙකම එකට අරන් සාකච්ඡා කරද්දී තමයි මේ දහඅටවැනි සංශෝධනයේ භයානකකම පිළිබඳ චිත්‍රය දකින්න හැකිවන්නේ.
කිසිම දෙඩිගියාවක්‌ නොමැතිව ආරම්භයේ සිටම ජනතා විමුක්‌ති පෙරමුණ මේකට විරුද්ධ වුණා. “
-සෝමවංශ අමරසිංහ (2010-09-04)

ජවිපෙ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු සුනිල් හඳුන්නෙත්ති මහතා පළ කල පහත ප්‍රකාශය මේ ප්‍රකාශන මාලාවේ වැදාගත්ම ප්‍රකාශයක් වේ.
"ව්‍යවස්‌ථා සංශෝධනයෙන් කරන්න යන්නේ වත්මන් ව්‍යවස්‌ථාවේ 31(2) උප වගන්තිය ඉවත් කරන එක. එයින් එක්‌ පුද්ගලයකුට ජනපති ධුරය දැරිය හැක්‌කේ එක්‌වරක්‌ පමණක්‌ යන්න ඉවත් කිරීමක්‌. මෙයින් ජනතා පරමාධිපත්‍ය ආරක්‌ෂා වන්නේ නැහැ. තනි පුද්ගලයකු වටා බලය කේන්ද්‍රගත කොට ඒකාධිපතිත්වයක්‌ නිර්මාණය කිරීමයි මේ සිදුවන්නේ.මෙය එක්‌වරම ජනතාවට නොදැනෙන්න පුළුවන්. අපි ලංකා ඉතිහාසයේ හැම විටම අනික්‌ පක්‌ෂවලට පෙර අවදි වූ පක්‌ෂයක්‌. සටන් විරාම ගිවිසුම වැරදි බව මුලින්ම කිව්වේ අපි. සුනාමි සහන මණ්‌ඩලය වැරදියි කියලා මුලින්ම කිව්වේ අපි. ඒ වගේ දේවල් පසුකාලෙක ඔප්පු වුණා. අපි කිව් දේ යථාර්ථයක්‌ කියලා. ඒ වගේම 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා කරන මේ වැඩෙත් අපේ රට ඒකාධිපති ගමනකට යටත් වන බව අපි කියනවා."
- සුනිල් හඳුන්නෙත්ති (2010 -09-05 )

මේ ප්‍රකාශ බැලූ විට පැහැදිලිව පෙනෙන කාරණයක් නම් ජනාධිපතිවරයා තම ධූර වාර ගනනේ සීමාව ඉවත් කරගෙන ඇති බවට ජවිපෙට ඉර හඳ සේ විශ්වාසව තිබූ බවයි. ඒ පිළිබඳ පසුගිය ජනාධිපතිවරණ සමයේ ජවිපෙ සමග සමීපව ඇසුරු කල සරත් එන් සිල්වා මහතාවත් අද ඉදිරිපත් කරන මහා සොයාගැනීම පිලිබඳ යාන්තමින් වත් හෝ දැනුවත් කර නැත.. ඉහත අවසන් ප්‍රකාශයේ සුනිල් හඳුනෙත්ති මන්ත්‍රීවරයා ජවිපෙ පිළිබඳ වර්ණනාවක්ද සමග එය තිරව ප්‍රකාශ කරන්නේ එබැවිනි. ඔහු පවසන්නේ ජවිපෙ මේ කරුණ පිළිබඳවද සියළු දෙනාට කලින් 'අවදිව සිටි' බවයි. නමුත් අවාසනාවට අද ජවිපෙ ඒ කරුණ සම්බන්ධව සිදුකරන පරස්පර ප්‍රකාශ දුටු විට අපට නිගමනය කළ හැක්කේ ජවිපෙ කලින් අවදි වීම කෙසේ වෙතත් එදා අඩ නින්දේ සිටි බව හෝ අද හොරට නිදන බවයි.

පොදු ආපේක්ෂක අපේක්ෂාවෙන් පසු චන්ද වර්ජනයට...

එකසත් ජාතික පක්ෂයෙන් ඉදිරි ජනාධිපතිධූරයට රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වන බවට ප්‍රකාශ කරන තෙක්ම ජවිපෙට මේ මහා සොයා ගැනීම ගැන කිසිඳු අදහසක්වත් නොවීය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පැරදවීමට පොදු අපේක්ෂකය්කු පිළිබඳ දිගින් දිගටම බලාපොරොත්තු තබාගෙන සිටියේ එබැවිනි.
එජාපයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත්වීමට තීරණය කර ඇතැයි සැල වී විට ටික දිනක් යනතෙක්ම කල යුත්තක් ගැන අදහසක් නොමැතිව ගන්ධබ්බ අවස්ථාවකට ජවිපෙ පත්විය.

ඒ වකවානුවේ ජවිපෙ වත්මන් නායකයා පලකල පහත අදහස් මගින් ජවිපෙ දැරූ මතය හොඳින් පැහැදිලි වේ.

"අපේ රටේ නිශ්චිත මැතිවරණ සිතියම අනුව ජනාධිපතිවරණයක්‌ පැවැත්වීමට නියමිතව තිබෙන්නේ 2017 ජනවාරි මාසයේ. ඒත් වර්තමාන ජනාධිපතිවරයා උත්සාහ කරනවා 2015 මුල් භාගයේ ජනාධිපතිවරණයක්‌ පවත්වන්න. ඒ අන් කවරකටවත් නොවේ. 2017 දක්‌වා තව වසර දෙකක්‌ රාජපක්ෂ පාලනය ඉදිරියට ගෙන ගියොත් වත්මන් ජනාධිපතිවරයාට 2017 ජනාධිපතිවරණයක්‌ ගැන සිතා බලන්නවත් නොහැකි වන බව ඔහු දන්නවා. ජනාධිපතිවරණය වසර දෙකකට පෙර පැවැත්වීමෙන් පෙන්වන්නේ ඉදිරි වසර දෙකක කාලය රටේ ජනතාවට තවත් පීඩනය ඇතිකරන බවයි. එම නිසා එළැඹෙන ජනාධිපතිවරණයට රාජපක්ෂක පාලනය පෙරළා දැමීම සඳහා සියලු සැලසුම් දියත් කළ යුතුයි. ඒ සඳහා දායකත්වය සැපයීම ජනතාවගේ වගකීමක්‌. ඒ සඳහා පුළුල් ව්‍යායාමයක් පිළිබඳ අදහසක ජනතා විමුක්‌ති පෙරමුණ නිරතව සිටියා. ඒත් මේ වෙද්දී එළැඹෙන ජනාධිපතිවරණයේදී එක්‌සත් ජාතික පක්ෂ අපේක්‌ෂකයකු ඉදිරිපත් කළ යුතු බවත් ඔහු රනිල් වික්‍රමසිංහ විය යුතු බවටත් යෝජනා සම්මතවී තිබෙනවා. එමනිසා පොදු ව්‍යායාමයක සාකච්ඡා අවසන්වී තිබෙනවා. දැන් යළිත් රාජපක්ෂ කේන්ද්‍ර කරගත් බලයක්‌ හරහා මේ පාලනයෙන් ජනතාව තවත් පීඩාවට පත්කරමින් ඉදිරියට ගෙන යන පෙරමුණක්‌ ගොඩනැගෙමින් තිබෙනවා. ඒ වගේම මීට කිසිසේත් විකල්පයක්‌ නොවන මෙම ක්‍රියාමාර්ගය ඉදිරියට ගෙන යැමට සැදී පැහැදී දැන් රනිල් වික්‍රසිංහ පෙරමුණත් ගොඩනැඟීමට සූදානම්. එමනිසා අපි මෙම කඳවුරු දෙකටම එරෙහිව විකල්ප කඳවුරක්‌ ගොඩනැගීම කෙරෙහි අවධානය යොමුකර තිබෙනවා.ඒ කඳවුරේ අපේක්‌ෂකයා ජනතා විමුක්‌ති පෙරමුණෙන් හෝ ජවිපෙන් පිටත කෙනෙක්‌ විය හැකියි. එම අපේක්‌ෂකයා මාද නැතිනම් පක්ෂෙයේ වෙනත් අයකුද කියා තවම අවසන් තීරණයකට පැමිණ නෑ."

-අනුර කුමාර දිසානායක (2014-07-13)

අනුර කුමාර මහතාට අනුව මීට මාස දෙක තුනකට පෙරදීත් මහින්ද රාජපක්ෂ පැරදවීමට අපේක්ෂකයකු සොයනු මිස ජනාධිපතිවරණ නීත්‍යානුකූල නොවන බව ජවිපෙට වැටහී නොතිබී ඇත. ජවිපෙ ලාල් කාන්ත මහතා පළකළ පහත අදහස තුලද ඒ බව හොඳින් සටහන්ව තිබේ. ඔහු පැහැදිලිව ප්‍රකාශ කරන්නේ එක් පසකින් මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත්ව තිබියදී ඔහු පැරදවීමට තමන්ද පොදු අපේක්ෂකයකු පිළිබඳ බලාපොරොත්තු තබා සිටි බවයි.

"අපිත් කල්පනා කරමින් හිටියා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න එකඟවන, ඉන් පසුව දාහත්වැනි සංශෝධනය නිසි පරිදි ක්‍රියාත්මක කර යම් ප්‍රජාතන්ත්රෙවාදී වටපිටාවක්‌ ස්‌ථාපිත කර මාස 6 ක්‌ තුළ පාර්ලිමේන්තු ඡන්දයකින් ජනතාවට කැමැති ආණ්‌ඩුවක්‌ තෝරා ගැනීමට අවස්‌ථාව ලබා දිය යුතුය යන අදහස. ඒ වෙද්දී එක ජනාධිපති අපේක්ෂ්කයෙක්‌ හිටියා. ඒ මහින්ද රාජපක්ෂ. පොදු අපේක්ෂයයකු ලෙස සමාජය තුළ සාකච්ඡා වුණා මාදුළුවාවේ සෝභිත හිමි, චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග, තවත් සුළු වශයෙන් ශිරාණි බණ්‌ඩාරනායකගේ නම, කුමාර සංගක්‌කාරගේ නමත් කියෑවුණා. මේ වෙද්දී ඒ සාකච්ඡාව අවසන් වෙලා. ඒ අවසන් කිරීම කළේ රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එජාපයයි. ඔවුන් පැහැදිලිව කිව්වා එජාප අපේක්ෂ කයෙක්‌ ඉදිරිපත් කරනවා ඒ රනිල් වික්‍රමසිංහ කියලා. දැන් පොදු අපේක්ෂකක කතාව ඉවරයි. පොදු අපේක්ෂකයෙක්‌ යනු ජවිපෙටත්, එජාපයටත්, අනෙකුත් ආණ්‌ඩු විරෝධී සියලු බලවේගවලටත් එකඟ විය හැකි, විශ්වාසය තැබිය හැකි කෙනෙක්‌. රනිල් වික්රහමසිංහ කියන්නේ එවැනි විශ්වාසය තැබිය හැකි කෙනෙක්‌ නොවේ.“
-කේ ඩී ලාල් කාන්ත මහතා (2014-06-29)

එතෙක් පොදු අපේක්ෂකු පිළිබඳ සිතා සිටි ජවිපෙට රනිල් වික්‍රමසිංහ මහතා වෙනම තරඟ කරන වටපිටාවක යන එන මං නැති වී ඇති බව පැහැදිළිය. මෙය ජවිපෙට ඉතිහාසය පුරාම ජනාධිපතිවර්ණවලදී මුහුණ දෙන්නට සිදුවන පොදු ඉරණමයි. 5% චන්ද සීමාව පැන්නිය නොහැකි පක්ෂයක් ලෙස වෙනම තරඟ කර දිනාගත හැකි ජයග්‍රහණයක් නොමැති වාතාවරණයත්, සෘජුව ප්‍රධාන පක්ෂ වල සහාය හිමිවන අපේක්ෂකයාට සහය දීම හරහා තම පක්ෂ අභ්‍යන්තරයේ සිදුවන දෙදරා යෑම් වලක්වා ගැනීම සඳහාත් ජවිපෙට බොහෝ විට සංගතව පැහැදිළි කල නොහැකි අභ්‍යව්‍ය ස්ථාවරයන් වෙත තල්ලුවීම සෑම ජනාධිපතිවරණයකදීම පාහේ සිදු වූ අලකලංචියකි. රෝහණ විජේවීර මහතා 82 ජනාධිපතිවරණයට ඉල්ලීමත්  , 99 නන්දන ගුණතිලක මහතා ජනතා විමුක්ති පෙරමුණෙන් ඉල්ලීමත් හැරුණු කල අනෙක් සිටළු අවස්ථාවලදී ඒ අභව්‍ය හැසිරීම නිරීක්ෂණය කල හැකිය.

විශේෂයෙන් 2005 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට සහාය දීමත් 2010 මැතිවරණයේදී සරත් ෆොන්සේකා මහතාට සහාය දීම හරහා තම පක්ෂ අභ්‍යන්තරයේ දරුණු තුවාල සිදු කරගෙන තිබෙන ජවිපෙට මෙවර සෘජුවම ප්‍රධාන පක්ෂ දෙකේ නායකත්වය සමග සහවාසය කල නොහැක්කකි. එමෙන්ම ජනාධිපතිවරණය අවසන් වූ විගස පැමිණෙන්නට නියමිත මහ මැතිවරණය තුලදීද එහි අවාසිය ජවිපෙට දැඩිව බලපානු ඇත.  ජනාධිපතිවටණයේදී 1999 කලාක් මෙන් තනිව ඉල්ලුවහොත් එය විපක්ෂයට ලැබෙන චන්ද ගොඩ බෙදා වක්‍රකාරයෙන් රාජපක්ෂ මහතාට සහාය දීමක් ලෙස ජවිපෙ ගනන් බලා ඇති බවට සැක නැත. රනිල් වික්‍රමසිංහ මහතාට සෘජුව සහය දිය නොහැකි ප්‍රතිවිරොධතා රාශියක්ද ඇති බැවින් ඡන්ද වර්ජනය හරහා අනියම් සහායක් ලැබෙන තැනට කටයුතු කිරීමට ජවිපෙ තීරණය කළේද?. ජනාධිපතිවරණ කාලසීමාව තුලදී මහින්ද රාජපක්ෂ  මහතා ඉලක්ක කරමින් සිදු වනු ඇති ජවිපෙ ප්‍රචාරණ ව්‍යාපාරය හරහා ඒ සහාය නොමිලේම රනිල් වික්‍රමසිංහ මහතා වෙත යනු ඇති.
එවැනි වාතාවරණයක් යටතේදීත් මහින්ද රාජපක්ෂ මහතා ජයග්‍රහණය කළහොත් ඉන්පසු එළඹෙන කාල සීමාව තුලදී 'නීත්විරෝධී ජනාධිපතිවරණයෙන් පත් වූ නීතිවිරෝධී ජනපති" යන හංවඩුව ගසා තම මිතුරු සමාජයේ තව දුරටත් සජීවීව පැවැත්මටත් සමාජය තුල ඒ හරහා ඇතිවන ව්‍යාකූලභාවය තම දේශපාලන පැවැත්ම තහවුරු කරගැනීමට සරු පසක් නිර්මානය කරනු ඇති බවටත් ජවිපෙ ගණන් හදා ඇති බවට සැක නැත. "මහින්දට තුන්වරක් බෑ" කියා හන්දියක් ගානේ යන්නට ජවිපෙ තීරණය කර ඇත්තේ එබැවිනි. 
 
පසුගිය දිනෙක අත්විඳි අපූරු අත්දැකීමකින් මේ සටහන අවසන් කරමු.

මේ ලියුම්කරුගේ ඥාතියෙකු තවමත් බහ තෝරන වියේ පසුවන ඔහුගේ සිඟිති පුත්‍රයාද සමග පසුගිය දිනෙක සත්තු වත්ත බලන්නට ගොස් තිබිණ. සත්තු වත්තේ කුටියක සිටි සිංහයා කෑ ගසන හඬ අසා බිය වූ පුත්‍රයා ගෙදර පැමිණ සැමදෙනාටම තමන් සත්තු වත්තේදී මුහුණ දුන් ඒ සිද්ධිය විස්තර කර තිබුණේ අපූරු ආකාරයටය. "සිංහයා කෑ ගැහුවා. පුතා බෑ වුනා". ඉන්පසු නිවසට පැමිණෙන සියළු නෑදෑ හිතමිතුරන්ට ඔහු ඒ භය වීම විස්තර කලේ එසේය. “ සිංහයට බෑ වුනා" යනු " සිංහයට භය වුනා" යන්න තවමත් හය හතර නොදන්නා සිඟිත්තා අන් අයට පැහැදිලි කරන ආකාරයයි.
ජවිපෙ ඉහත පෙන්වා දුන් අසංගත අභව්‍ය හැසිරීමට හේතුව , එනම් ජවිපෙට අනුව "මහින්දට බෑ " වීම අපේ හිතවතාගේ පුත්‍රයා "සිංහයාට බෑ" වීම වැනිම වැනි "බෑ වීමක්"  ලෙස තේරුම් ගැනීම නිවරදිය.


-යටියන ප්‍රදීප් කුමාර
යුතුකම සංවාද කවය
www.yuthukama.com


12 comments:

  1. ජවිපෙ ඉහත පෙන්වා දුන් අසංගත අභව්‍ය හැසිරීමට හේතුව , එනම් ජවිපෙට අනුව "මහින්දට බෑ " වීම අපේ හිතවතාගේ පුත්‍රයා "සිංහයාට බෑ" වීම වැනිම වැනි "බෑ වීමක්" බව පැහැදිළිය.

    මේක නම් සුපිරි කතාව :)
    බෑ වීම :G

    ReplyDelete
  2. මං සිංහයාට බෑයි මල්ලියේ....

    ReplyDelete
    Replies
    1. අපි මහිදයට බෑයි නංගියේ

      Delete
  3. Mamath me gena hoya hoya hitiye
    thanks
    me kotasa ithaama wedagath
    "මේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ගැන සරත් එන් සිල්වා මහතා හිතාමතාම අඩු බරක් දී කතා කරන අයුරක් පෙනෙන්නට තිබේ. ඔහු පුවත් පතක් සමග සාකච්චාවකට එක් වෙමින් පවසා තිබුණේ ඒ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව වැරදි බවයි. හිටපු අගවිනිසුරුවරයෙකු වූ පළියට සරත් එන් සිල්වා මහතාගේ කතා දේව වාක්‍ය‍යක් වන්නේවත් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව නිෂේධ කරන්නේවත් නොවේ. සරත් එන් සිල්වා මහතා අගවිනිසුරු ධූරය දැරූ අවධියේ ලබා දුන් සමහර තීරණාත්මක තීන්දු පිළිබඳ බාහිර සමාජයේ දැඩි ප්‍රතිවිරෝධතා පැවති බව රහසක් නොවේ. නමුත් එය එසේ වූවා කියා එතුමා අගවිනිසුරුවරයා ලෙස ලබා දුන් තීන්දු නිෂේධ වූයේ නැත. වැදගත්වන්නේ අධිකරණය හරහා ලැබෙන තීන්දුව කුමක්ද යන්නයි. "

    ReplyDelete
  4. මෙය තනිකරම පක්ෂක්ග්රාහී ලිපියකි . මෙහි ප්‍රදානම අරමුණ ජවිපෙ ට මඩ ගැසීමය . ජවිපෙ නායකයන්ගේ ප්‍රකාශ උපුටා දැකුවද , එහි එකදු ප්‍රකාශයක මහින්ද රාජපක්ෂ ගැන කියා නැත. එහි කියා ඇත්තේ මෙය සම්මත කිරීමෙන් පසු කවරෙකුට හෝ ඕනේ තරම් වාර ගණනක් ජනාධිපතිවරණයට ඉල්ලිය හැකි බව පමණි. රාජපක්ෂ පව්ල ගෙන කියා ඇත්තේ රාජපක්ෂ වරු පාලනයේ ඉන්නා තාක් කල් කිසිම පව්ලෙන් කෙනෙක්ට ජනාධිපති වෙන්නට නොදෙන නිසාය . ජනාධිපති මහින්ද රාජපක්ෂ දෙවන වර දිව්රුම් දීම කෙසේ වෙතත් පළමු වර දිව්රුම් දීමෙන්ම ඔහු ව්‍යවස්‌ථානුකුලව දෙවරකට වඩා ජනාධිපති කමට නුසුදුස්සෙක්මි යන බවට දිව්රුම් දෙය්. මොලය ඇත්තෝ තේරුම් ගනිත්වා .

    ReplyDelete
    Replies
    1. අපරාදේ චමිල වගේ කෙනෙක් එක්ක කතා කරන්න යන වෙලාව.
      ඒ නිසා නවතිමි..

      Delete
  5. චමිලගේ රූමා..October 14, 2014 at 2:28 AM

    චමිල
    /*ජනාධිපති මහින්ද රාජපක්ෂ දෙවන වර දිව්රුම් දීම කෙසේ වෙතත් පළමු වර දිව්රුම් දීමෙන්ම ඔහු ව්‍යවස්‌ථානුකුලව දෙවරකට වඩා ජනාධිපති කමට නුසුදුස්සෙක්මි යන බවට දිව්රුම් දෙය්.*/

    මොන විකාරයක්ද මේ..
    උඹට නම් පිස්සු චමිල.

    ReplyDelete
    Replies
    1. 1978දී ජයවර්ධන මහතා විසින් සම්මත කරගත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 31 (2) ව්‍යවස්ථාවේ මෙසේ සඳහන් වේ. ‘ජනතාව විසින් දෙවරක් ජනාධිපති ධූරයට තෝරාපත්කර ගනු ලැබූ කිසිම තැනැත්තෙක් ඉන්පසු එම ධුරයට ජනතාව විසින් තෝරාපත්කර ගනු ලැබීමට සුදුස්සෙක් නොවන්නේය’ යනුවෙනි. එසේම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 92 (ඇ) ව්‍යවස්ථාවේ ‘ජනතාව විසින් දෙවරක් ජනාධිපති ධුරයට තෝරාපත්කරගෙන තිබීම’ නැවත ඡන්දය ඉල්ලීමට නුසුදුසුකමක් සේ දක්වා තිබේ.

      Delete
    2. පෙරකදෝරුවාOctober 15, 2014 at 8:42 PM

      චමිලට සිංහල තේරෙන්නේ නෑ වගේ
      ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 31 (2) උප වගන්තිය අනුව ජනාධිපතිවරයකුට එම ධුරය දැරිය හැකි වාර ගණන 2 කට සීමා කර තිබුණා. එහෙත් 18 වැනි සංශෝධනයෙන් එම කොන්දේසිය ඉවත් කර තිබෙනවා. තුන්වැනි වරට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සුදුස්සකු හෝ නුසුදුස්සකු වීමට වැදගත් වන්නේ අදාළ දිනයයි. අදාළ දිනය වන්නේ ජනාධිපතිවරණයට නාම යෝජනා බාර දුන් දිනයයි.
      ව්‍යවස්‌ථාවේ 92 වගන්තියේ කොන්දේසිය මගින් ජනාධිපති ධුරයට ඉදිරිපත් වන අපේක්ෂකයකුට තරග කළ හැකි වාර ගණන දෙකක්‌ බව සඳහන් වෙතත් එයද 18 වැනි ව්‍යවස්‌ථා සංශෝධනයෙන් ඉවත්කොට තිබෙනවා.

      Delete
  6. චමිල

    /*ජනාධිපති මහින්ද රාජපක්ෂ දෙවන වර දිව්රුම් දීම කෙසේ වෙතත් පළමු වර දිව්රුම් දීමෙන්ම ඔහු ව්‍යවස්‌ථානුකුලව දෙවරකට වඩා ජනාධිපති කමට නුසුදුස්සෙක්මි යන බවට දිව්රුම් දෙය්.*/

    අඩො චමිල, උඹ ගිය ආත්මෙක කැකිල්ලෙ රජ්ජුරුවොද?

    ReplyDelete