Breaking News

අනගාරික ධර්මපාල (තුමා) ජාතිවාදී ද?

ජාතියේ ඉතිහාසයේ දී අපට මුණගැසෙන වීර චරිත අතරින් ඉතා සුවිශේෂී, අපූර්ව චරිතයක් අපි දකිමු. ඒ අනගාරික ධර්මපාල තුමා ය.  එසේ වුවත් එක් පැත්තකින් එතුමන් විසින් සිදු කර ඇති ඓතිහාසික කාර්ය භාරය නිසි ඇගයුමකට ලක් නොවීමත්, අනෙක් පැත්තෙන් (ඉතා ම සුළු පිරිසක් වුවත්) යම් පිරිසක් එතුමන්ට ජාතිවාදී ලේබල ඇලවීමට උත්සාහ කිරීමත් අපගේ කනගාටුවට හේතු වෙයි. අපගේ ජාතික වීරවරයන්ගෙ ලැයිස්තුවට ධර්මපාල තුමාගේ නම ඇතුලත් වන බව සැබෑ ය. වාර්ෂිකව එතුමන් සමරා ගුණ සමරු උත්සව ද පැවැත්වෙයි.  මෙරට බොහෝ ප්‍රදේශ වල එතුමන්ගේ නමින් මං මාවත් ද නම් කර ඇති බව පෙනෙන්නට තිබේ.  මේ එකදු ක්‍රියාවකින් වත් එතුමන් සතු සුවිශේෂී බාවය ඉස්මතු වේ ද? අප විසින් එතුමන් අගය කරනු ලබන්නේ නම් එතුමන්ට ජාතිවාදී චෝදනා එල්ල කරන සුළු පිරිසට අපි කවර පිළිතුරක් ලබා දෙමු ද? ධර්මපාල තුමාගේ 150 වන ජන්ම සංවත්සරය පසු වී දින කිහිපයක් ගත වී ඇතත්, ප්‍රමාද වී හෝ ඒ පිළිබඳ ව කතා කිරීම ඉතා වැදගත් බව අපි අදහස් කරමු. 

ධර්මපාල තුමා සුවිශේෂී වන්නේ ඇයි? එතුමන් සුවිශේෂී චරිතයක් නම්, එතුමන්ට නිසි ඇගයීමක් ලැබී නැතැ යි කියන්නේ ඇයි? එතුමන් ජාතිවාදී ද? නැත් ද? එතුමන් ගැන ඊනියා නැවත කියවීමක් අපි කෙසේ සිදු කරමු ද? මෙම ප්‍රශ්න වලට අපි පිළිතුරු ලබා දිය යුතු වෙමු. 

යටත් විජිත වාදයේ සංස්කෘතික සංරචකය හඳුනා ගැනීම 
ධර්මපාල තුමා නම් චරිතය අප සමාජයේ බිහි වන්නේ, මෙරට ජාතික ව්‍යාපාරය අරාජිකව පැවති යුගයක ය.  වෙල්ලස්සේ සහ මාතලේ (1818 සහ 1848) නිදහස් සටන් (ඇතැමුන්ට අනුව නම් මේවා කැරලි වන අතර, එසේ වන්නේ ඔවුන් ද ආක්‍රමණිකයාගේ කෝණයෙන් ඒවා දෙස බලන බැවින් විය යුතු ය.) නිර්දය ලෙස මර්දනය කිරීමත්, එම ප්‍රදේශ වල සිංහල නායකයන් සමූල ඝාතනය කිරීමත් නිසා මෙරට සාම්ප්‍රදායික නායකත්වය ඒ වන විට විනාශ වී තිබුණි.  අනෙක් පැත්තෙන්, බටහිර අධ්‍යාපන ආයතන හරහා බිහි වූ උගතුන් හට සමාජ ආධිපත්‍යයක් හිමි වීමත්, පිරිවෙන් අධ්‍යාපනය කඩා වැටීමත් යන කරුණු දෙක හේතුවෙන්, භික්ෂුවගේ සමාජ නායකත්වය ද ගිලිහී තිබුණි. (මේ තත්ත්වය අද ද එසේ ම ය.)  තවත් පැත්තකින්, මිෂනාරි පාසල් හරහා ව්‍යාප්ත කරන ලද බටහිර අධ්‍යාපන රටාවත්, බේබදුකම ඇතුලු දුසිරිත් පෙළත්, ඇඳුම් පැළඳුම් ඇතුලු සංකර ජීවන රටාවත්, මෙරට සමාජය වසා ගනිමින් තිබිණ. (අද වන විට මේවා කෙතරම් සාමාන්‍යකරණය වී ඇත් ද යත්, එසේ වීම ගැටළුවක් දැ යි කෙනෙකු ඇසුවහොත් අපි පුදුම නොවෙමු.)  ධර්මපාල තුමා දොන් ඩේවිඩ් හේවාවිතාරණ නමින් උපත ලබන්නේ මෙවන් සමාජයක් තුළ ය. ඒ, එකල මෙරට ආර්ථික ආධිපත්‍යය දැරූ, ධනවත් කමින් ඉහලින් ම වැජඹුණු ව්‍යාපාරික පවුලක ය.  මේ නිසා ම අධ්‍යාපනය සඳහා එතුමන් යොමු කෙරෙන්නේ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය වැනි ප්‍රමුඛ පෙළේ මිෂනාරි පාසල් වලට ය.  

ආක්‍රමණිකයන්ට මුහුණ දුන් වීර චරිතයෝ මෙරට ඉතිහාසයේ දී ඕනෑ තරම් අපට මුණගැසෙති. ආක්‍රමණිකයා දේශපාලනිකව පලවා හැරීමෙන් පමණක් පරිපූර්ණ නිදහසක් රටට, ජාතියට ලබා දීමට ඔවුන් බොහෝ දෙනෙකුට හැකි විය.  එහෙත් බටහිර යටත්විජිතවාදය වූ කලි ලොව මෙතෙක් බිහි වූ අධිරාජ්‍යවාදයන්ට වඩා වෙනස් වන්නේ එය දේශපාලන, ආර්ථික සහ සංස්කෘතික යන සංරචක තුන හරහා ම ක්‍රියාත්මක වීම ය. මුස්ලිම් අධිරාජ්‍යවාදයේ ද මෙම සංස්කෘතික සංරචකය ප්‍රධන තැනක් ගත්ත ද, බටහිර අධිරාජ්‍යවාදය තුළ එය ක්‍රියාත්මක වන්නේ කාටත් හොරා ඉතා සූක්ෂම ලෙස ය.  අනෙක් අතට ධර්මපාල තුමාගේ කාලය වන විට මුස්ලිම් අධිරාජ්‍ය වල බලපෑම මෙරටට එතරම් දුරට දැනී නොතිබිණ. එසේ ම, කැප්පෙටිපොල, පුරන් අප්පු වැනි වීර වරයන්ගේ කාල වල පවා බටහිර සංස්කෘතික බලපෑම එතරම් දුරට ප්‍රබල සාධකයක් නොවුනි.  ධර්මපාල තුමා අපට සුවිශේෂී සහ අපූර්ව වන්නේ මෙම සංස්කෘතික බලපෑම තෙරුම් ගත් මුල්ම නායකයා වීම නිසා ය.  එකල සමාජයේ වූ සංකර ගති ලක්ෂණ සිංහල බෞද්ධ සමාජය වෙලා ගන්නා වූ සංස්කෘතික පිළිලයක් බව එතුමා හඳුනා ගත්තේ ය. එහෙත්, ඒවා පිළිලයක් නොව ලෝක ප්‍රවනතාවක් බව කියන උගත්තු අද වන විට බිහිව සිටිති. ඒ සුද්දන් මෙරට ස්ථාපනය කරන ලද අධ්‍යාපනයේ ප්‍රතිඵලයක් ලෙස ය.  එකල ද, දේශීය නායකයන් ලෙස පෙනී සිටි උගත් ලාංකිකයන්ට මෙම සංස්කෘතික පරිහානිය ගැටලුවක් නොවී ය.  ඔවුන්ගේ එක ම අභිලාශය වූයේ "සුද්දන් විසින් ගොඩ නඟන ලද ලෝකයේ තමන්ට හිමි තැන ලබා ගැනීම" ය.  එසේ වුව ද තමන් ගත යුත්තේ කවර මගක් දැ යි අවබෝධ කර ගැනීමට තරම් අන්තර්ඥානයක් ධර්මපාල තුමාට විය. 

ධර්මපාල තුමාට එදා සිදු වූ අසාධාරණය
සිංහල බෞද්ධයාට සිය ජාතික විමුක්තිය උදා කර ගත හැක්කේ, බෞද්ධ සමාජය ප්‍රතිස්ථාපනය කිරීම තුළින් පමණක් ම බව ධර්මපාල තුමාගේ මතය වූ බව පෙනේ. මෙකල බටහිර අධ්‍යාපනය හරහා බිහි වුනු, ඇතම් විට ආගමින් සැදැහැවත් බෞද්ධයන් වන, එහෙත් ක්‍රියාවෙන් සුද්දන් වීමට ම උත්සාහ කරන පිරිස (ඕල්කට් බෞද්ධයන්- මෙම පිරිස් අද සමාජයේ ද දැකිය හැකි ය. මෙම පිරිස බොහෝ විට ශ්‍රද්ධාවට වඩා තර්කය මත පදනම් වෙති.) දැරූ මතය වූයේ ජීවත් වන සංස්කෘතිය කුමක් වුවත්, ධර්මය පිළිපැද නිවන් දැකිය හැකි බව යි.  උදේට සුදු වතින් සැරසී පන්සල් ගොස්, හවසට සංකර ඇඳුමින් සැරසී බාල් නටා, නිවන් දැකිය හැකි බව සිතන පිරිසකට ධර්මපාල තුමා ගෙන ගිය වැඩ පිළිවෙල කිසිසේත් ම දැරිය හැක්කක් නොවන්නට ඇත.  මේ නිසා ම ඔවුහු අධිරාජ්‍යවාදියාට එරෙහි වීම පසෙක ලා, ධර්මපාල තුමන් සිය සතුරා බවට පත් කර ගත්හ.  එතුමන්ට නිග්‍රහ කිරීම සිය ඒකායන අරමුණ කර ගත්හ. උදාහරණයක් ලෙස ධර්මපාල තුමා සිය ජාතික, ආගමික වැඩ පිළිවෙල හරහා මුදල් වංචා කළ බව කියවෙන පත්‍රිකාවක් "ධර්මපාල අර්බූදය" නමින් එකල මහජනයා අතර බෙදා හැර ඇත. එහෙත් පසුව දැන ගන්නට ලැබී ඇත්තේ, මෙය සර් ඩී.බී. ජයතිලකගේ (මොවුහු ලංකාවේ නිදහස වෙනුවෙන් වැඩ කරන අතරතුර බ්‍රිතාන්‍යයෙන් ම නම්බු නාම් ලැබූවෝ වූහ.) මැදිහත් වීමෙන් බෙදා හරිනු ලැබූවක් බව ය.  අවසානයේ දී සිදුවන්නේ මේ සියල්ලෙන් ම කලකිරෙන ධර්මපාල තුමා, යළි කිසි දිනෙක ලංකා භූමියෙහි නූපදීවා යි ප්‍රාර්ථනා කොට මෙරටින් පිටව යාම යි.

ධර්මපාල තුමාට මෙදා සිදු වන අසාධාරණය

ධර්මපාල තුමාට අද සිදුවන විශාලත ම අසාධාරණය නම්, එතුමන්ට එදා කෙනෙහිලි කම් කළ පිරිස් ජාතික වීරවරයන් ලෙස දක්වන අතර ම, එතුමන් ද එම ලැයිස්තුවේ තවත් එක් අයෙකු ලෙස දැක්වීම ය. ධර්මපාල තුමාගේ චරිතය ගැන කියවෙන බොහෝ අවස්ථාවන් හි දී, එකල එතුමන් හට විඳින්නට වුනු අසාධාරණය යටපත් කෙරෙයි. ඊට හේතුව එකල විසූ කළු සුද්දන්ගේ ව්‍යාජ ප්‍රතිරූපයට හානියක් වනු දැකීමට මෙකල වෙසෙන කළු සුද්දන් දක්වන අකමැත්ත විය හැකි ය.  විශේෂයෙන් ම, පරම විඥානාර්ථවාදියෙකු වූ ස්ටීල් ඕල්කට් තුමා විසින් ශ්‍රී දළදා වහන්සේ ගැන සිදු කර ඇති අපහාසාත්මක ප්‍රකාශයත්, ධර්මපාල තුමා ඊට දැක් වූ විරෝධයත්, සූක්ෂම ලෙස සැඟවීමට බොහෝ අයෙක් උත්සාහ කරති.  එසේ ම, පසු කාලීනව ඕල්කට් තුමා සමග, ධර්මපාල තුමා සහ හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියන් අමනාපයෙන් පසු වූ බව ද අපෙන් සඟවනු ලබේ.  මෙම කරුණු, ඩේවිඩ් කරුණාරත්න, නැසීගිය ආනන්ද ගුරුගේ වැනි වියතුන් විසින් ලියන ලද කෘතීන් වල සඳහන් ය. 

අද ධර්මපාල තුමා ගැන කතා කරන විට, බොහෝ දුරට ඉස්මතු කෙරෙන්නේ බුද්ධගයාව බේරා ගැනීමට එතුමා ගෙන ගිය වැඩ පිළිවෙල පමණි.  එතුමන්ගේ එම මෙහෙය අමතක කළ යුතු බව කීමට තරම් අපි කුහක නොවෙමු.  එසේ ම එතුමන්ගේ අභීත නායකත්වය නොවන්නට බුද්ධගයාව බේරා ගැනීම මෙතරම් සාර්ථකව නොවන්නට ද ඉඩ තිබුණි.  මේ සියල්ලට ම වඩා ඉස්මතු කළ යුත්තේ සුදු අධිරාජ්‍යවාදයේ සංස්කෘතික මුහුණුවරත්, අප ඊට මුහුණ දිය යුතු ආකාරයත්, එහි අනාගත ස්වභාවයත් එතුමන් විසින් හඳුනා ගැනීම ය. මෙහි දී, අප විශේෂයෙන් ම සිහිපත් කළ යුතු වන්නේ අධිරාජ්‍යවාදය අනාගතයේ දී ක්‍රියාත්මක වන අයුරු එතුමන් දුටු අයුරු කියවෙන එතුමන්ගේ සුප්‍රකට ප්‍රකාශය යි. 

"මතක තියා ගනිල්ලා,
කවදා හරි සුද්දෝ මේ රට දාලා යනවා. උන් යන්නේ උන්ගේ දරුවෝ වගේ කළු සුද්දෝ විසි තිස් දාහක් මේ රටේ බෝ කළාට පස්සෙ යි. ඊට පස්සේ අපේ රට පාලනය කරන්නේ මේ කළු සුද්දො. උන් සිංහල භාෂාවට, සිංහල සිරිත් විරිත් වලට වෛර කරනවා. උන් උඹලගෙ දරුවන්ට උගන්නාවි ජාති, ආගම්, භාෂා භේදයක් එපා ය කියලා. දෙමළත්, මරක්කලයත්, හම්බයත්, කොච්චියත් බෝරකාරයත් එක යි කියලා. උන් කියාවි මේ රට උන් ඔක්කොටොම අයිති ය කියලා. එහෙම කියලා උන් ඉංග්‍රීසියම රජ කරාවි. පන්සල් වටේ පල්ලි,‍ කෝවිල් හදාවි. උඹලා උඹලෑ වෙනුවෙන් දියසෙන් කුමාරයා ඉපදෙන කල් බලාන ඉන්නවා. උපදින්න ඉන්න දියසෙන්ලා තිඹිරි ගෙයි දී ම මරාදාන්න මේ කළු සුද්දන්ට පුළුවන් බව මතක තියා ගනිල්ලා. අපේ හාමුදුරුවන්ටත් උන් එදාට ඉනා බේතක් දෙනවා. ඊට පස්සේ උඹලෑ කොල්ලො කෙල්ලන්ට ඇටිකෙහෙල් කාපු රිලව් වගේ නියෝ නියෝ ඉන්න සිද්ධ වේවි. "

ජාතිවාදී චෝදනාව
ධර්මපාල තුමා සිය දින පොතෙහි තබන ලද සටහනක් වන මෙම ප්‍රකාශය තුළින් පැහැදිළි වන්නේ, එතුමන් ඒ වන විට හිස ඔසවමින් සිටි බටහිර අධ්‍යාපනය ලත් "කළු සුද්දන්ගේ" පරම්පරාව ගැන නිවැරදි අවබෝධයෙන් පසු වූ බවකි. එහෙත්, අවාසනාවට මෙම ප්‍රකාශය පදනම් කර ගනිමින්, ධර්මපාල තුමා ජාතිවාදියෙකු බව ප්‍රකාශ කිරීමට විකල්ප ගෝත්‍රයේ පිරිස් උත්සාහ දරන අතර  තවත් බොහෝ පිරිසක් ධර්මපාල තුමාට ජාතිවාදී චෝදනාවක් එල්ල වේ ය යන බියෙන් මෙහි අවසන් වගන්ති කිහිපය කපා දමති.  නැතහොත්, මෙම ප්‍රකාශය අදට නොගැලපෙන බව පවසති.  එහෙත්, අද වන විට  එතුමන් එදා පැවසූ සියල්ල සැබෑ වී ඇති බව බොහෝ දෙනෙක් තෙරුම් නොගනිති. 

මේ රට සිංහලයාගේ පමණ ද? 
ධර්මපාල තුමා කියන්න්නේ මේ රට සිංහලයාගේ පමණක් බව ද? සුළු ජාතීන් නමින් හැඳින්වෙන පිරිසට මේ රට අයත් නොවේ ද? සිංහල, දෙමළ, මරක්කල, මැලේ, බර්ගර් සහ වැදි ජනයා ආදී සියලු ජන කොටස් ද, බෞද්ධ, හින්දු, මුස්ලිම්, කතෝලික, ක්‍රිස්තියානි සහ නිර්-ආගමික ආදී සියලු ආගමිකයන් ද මේ රටේ පුරවැසියන් වන බව සැබෑ ය.  මෙම අදහස තව දුරටත් ඉදිරියට ගෙන යමින් අප රට "බහු වාර්ගික, බහු සංස්කෘතික, බහු ආගමික" රටක් බව අයෙක් කියති.  එහෙත්, මෙරට සිංහල බෞද්ධ රටක් බව අපි කියමු.  ඒ, මෙරට බහුතර ජනතාව සිංහල බෞද්ධයන් වීම නිසා නම් නොවේ: සමස්තයක් ලෙස, මෙරට ඉතිහාසය තුළ මෙරටට ම ආවේනික වූ යමක් බිහි වී ඇත් නම් ඒ සිංහල බෞද්ධ සංස්කෘතිය තුළ වීම නිසා ය.  අදටත් මෙරට දෙමළ ජනයා තම කලා ශිල්ප ආදී අංග ලෙස ගන්නේ දකුණු ඉන්දියාව තුළ බිහි වන ඒවා ය.  මෙරට මුස්ලිම් ජනයා තම සංස්කෘතිකාංග ලෙස හුවා දක්වන්නේ මොනවා ද?  

මෙරට භාවිත කෙරෙන දෙමළ භාෂාව, ඉන්දියාවේ භාවිත වන දෙමළ බසින් වෙනස් වන්නේ ඉතා සුළු වශයෙන් පමණක් වීම, මෙරට එම බස කතා කරන ජනතාවගේ කෙටි ඉතිහාසයට සාක්ෂි දරයි.  එහෙව් තත්ත්වයක් තුළ පවා මෙරට සිංහල බෞද්ධ රටක් නොව බහු සංස්කෘතික රටක් බව කළු සුද්දෝ කියති.  මෙය මෙරට දීර්ඝ සිංහල බෞද්ධ ඉතිහාසය, සෙසු ජන කොටස් වල කෙටි ඉතිහාසයට සම කිරීමක් නොවේ ද?

ධර්මපාල තුමාට කරන ලොකු ම ගෞරවය

අප ඉල්ලා සිටින්නේ සිංහල බෞද්ධ ජනතාවට විශේෂ වරප්‍රසාද ලබා දෙන ලෙස නොවේ; සෙසු ජන කොටස් වලට මෙරටින් පිටව යන ලෙසත් නොවේ.  අප ඉල්ලන්නේ සංස්කෘතියක් ලෙස "සිංහල බෞද්ධ" සංස්කෘතියට මෙරට දී විශේෂ තැනක් ලැබිය යුතු බව ය.  ධර්මපාල තුමාට කරන ලොකුම ගෞරවය වන්නේ වාර්ෂිකව එතුමන්ට පුෂ්පෝපාහාර දැක්වීම නොවේ.  මෙරට ඉතිහාසය තුළ එතුමන් සුවිශේෂී විරුවෙකු වන බවත්, එතුමන් විසින් අවධාරණය කරන ලද සිංහල බෞද්ධ සංස්කෘතියට මෙරට හිමි තැන ප්‍රතිස්ථාපනය කිරීමේ වැදගත්කමත් හඳුනා ගැනීම ය.


-දුලන්ජන් විජේසිංහ
යුතුකම සංවාද කවය
www.yuthukama.com

3 comments:

  1. ධර්මපාලතුමා ගැන හොඳ විග්‍රහයක්. ධර්මපාලතුමාගේ ආමන්ත්‍රණය තිබුනේ බහුතර සිංහලයන්ට. අනෙක් ජාතීන් ගැන එතුමා කිව්වේ අපේ අයට හැදෙන්න. එතුමාට කතෝලික ආගම රළු ලෙස විවේචනය කරන්න සිද්ධ වුනා. එදා තිබුනු තත්වය අනුව. මිනිසුන් අන්ධව බුද්ධාගම අතඇරලා 'ආගම' වැළඳ ගනිමින් හිටියා. ඒ මිථ්‍යාදුෂ්ටික පූජකයනට පාදිලිරාල කියලා ආමන්ත්‍රණය කිරීම සෑහේ කියලා තමා එතුමා කිව්වේ. එතුමා ප්‍රායෝගිකයි. අපි මේඅ තේරුම් ගන්න ඕනා එදා තිබිච්ච තත්වය මත තියලා. එතුමා ජාතිවාදියෙක් නොවේ..ජාතිකවාදියෙක් අද වචනයෙන් කියනව නම්. ජාතිවාදයේ අනෙක් පස තමා ජාතිකවාදය.අවාසනාවකට අද උගත්තු කියන හුඟ දෙනෙකුට මේ දෙකේ වෙනස තේරෙන්නේ නෑ.

    ReplyDelete