Breaking News

සනාතන රස දහර පියසමර

කව්සිළුමිණකරුවා පෙදෙහි රසහව් විඳිනා දෙනෙතා ඉතා දුලබෝ යෑයි කියන කල, පෙර අප තුළ ඇති වුයේ නො රුස්‌නා හැඟුමෙකි. පැදි රස විඳීම පහසු නැත. එය මහා දුලබ හැකියාවෙකි. එවන් හැකියා ඇත්තෝ දුලබය. යනාදි කියමන් මානයෙන් හිස උදුම්මා ගත් පඬියෙකුගේ දෙඩවිලි ලෙසය. අපට පෙනුණේ. එහෙත් කුමාරතුංග මුනිදාසගේ පිය සමර කියෑවූ කල ඒ අදහස්‌වලින් හැඩි ව ඔද්දල් ව තිබූ ම සිත මහ වැස්‌සකට පසු පැහැදුල් අහසක්‌ මෙන් සුපැහැදිළි විය. කව්සිළුමිණිකරු නිවැරදි බවත් මා වැරදි බවත් දැන් මම පිළිගනිමි. පැදි කව් මැනවින් රස විඳීමට නම් රසිකයාට ද නිර්මාණකරුවාට නොපරදින ප්‍රතිභාවක්‌, කව් හදක්‌ අවැසි ය. පෙර විසූ ඉසිවරු රසිකයාට සහෘදයා යෑයි නම් පට බැන්දේ විශේෂයෙන් ඔහුගේ පැදි රස විඳීමේ හැකියාව ගැන ම සිතා විය යුතුය. මෙසේ අප කලක්‌ දැරූ අදහස්‌ වෙනස්‌ වීමටත් කව්සිළුමිණිකරු හා එකඟ වීමටත් හේතු වුයේ කවර නම් කාරණයක්‌ ද? ඒ අන් කිසිවක්‌ නොව සිංහල පැදි නදියෙන් පිය සමර නම් මහාර්ඝ පැදි මිණි සොයා පාදා දුන්නේ ද කවියෙකු හෙයිනි. බොහෝ ගල් බොරලු කඳු කැණ, දශක ගණනාවක්‌ යටපත් ව තිබූ නියම කව්මිණ පාදා දුන්නේ ගුණදාස අමරසේකර නම් අද අප අතර සිටින ශ්‍රේෂ්ඨතම කවියා හෙයිනි. සැබෑ කවිය රස විඳිය හැක්‌කේ ද එය කුකවියෙන් වෙන් කොට හඳුනා ගත හැක්‌කේ ද කවියෙකුට සහෘදයකුට ම හෝ පමණක්‌ බැව් ඉන් සනාථ නොවේ.

පිය සමර එහි නම අනුව නම් සිය පියා පිළිබඳ සැමරුමකි. එහෙත් කව කියවා අවසන් වූ කල, කවියා සිය පියා පිළිබඳ අතීත සැමරුම් පිඬක්‌ නියායෙන් කවියට නඟන්නේ පුතු සිරිත තුළින් වහනය වන පිය සිරිත බැව් පසක්‌ විය. සහෘද අප පියා දකින්නේ අපේ ඇසින් නොව පුතුගේ ඇසිනි. පියාගේ හොඳ, නරක, ප්‍රබලතා, දුබලතා විනිශ්චය කරන්නේ පුතුගේ දැනුම, ආකල්ප, රුචි අරුචිකම් අනුව ය. සැබැවින් ම අප දකින්නේ පුතුගේ සිත නම් කැඩපතෙහි පිළිබිඹු වන පියාය. ඒ පියා සැබැවින් ජීවත් වු පියාට වඩා පුතුගේ සිතේ ජීවත් වන පියා ලෙස ගැනීම නිවැරදි ය. මහාචාර්ය පී. බී. මීගස්‌කුඹුර දක්‌වන පරිදි ම පිය සිරිත තුළින් පුතු සිරිත ප්‍රතිවනිත වෙයි. ඒ පුතු සිරිත පිය සිරිත ඉක්‌මවා සිටින හෙයින් පිය සමර වනි කාව්‍යයක්‌ වෙයි.

මගෙ පියාණෙනි හොත් අවසන් ඇඳේ
ඔබ ඔවා හිතුවක්‌ කෙරෙතී දෙමින්
මගට ගන්නට තැත් ළ ඒ පුතා
සිත - සිතා ළ තවයි ඔබ ගේ අගේ

පියා දැන් මිය ගොස්‌ ය. ඔහු අවසන් ඇඳේ සිට පවා පුතුගේ යහපත පැතුවේ ය. ඒ පියාගේ ගුණ කඳ කෙතරම් දැයි උස්‌ මහත් වූ පුතුට වැටහෙයි. සිය පියාගේ ගුණ සිහි කර ළතැවෙන පුතුගේ රුව පියාගේ රුවට වඩා ගැඹුරින් සහෘද සිත්හි මැවෙයි. සෑම සහෘද හදක ම සිය පියා කෙරෙහි උපදින සංවේදී හැඟුම් නිසා මේ පුතු කෙරෙහි ප්‍රබල පහන් හැඟුම්ය. ඔහු තුළ උපදින්නේ.

එදිරිවීර සරච්චන්ද්‍රයෝ සිංහබාහු නාටකයෙන් පිය-පුතු සබඳතාවයේ එක්‌ පැතිකඩක්‌ කවියට නැගූහ. එහි දී අපි පිය-පුතු සබඳතාව පිය පසින් දකිමු. එහෙත් එහි පිය-පුතු සබඳතාවට වඩා පිය-පුතු ගැටුමකි පිළිබිඹු වන්නේ. පියා සහ පුතා අතර පරස්‌පරතා ඇසුරින් උපදින ගැටුමට, පරම්පරා මිස පියා සහ පුතා අතර ඇති සංකීර්ණ භාවාත්මක සබඳතාව විග්‍රහ කිරීමට එහි උත්සාහ නොකරයි. සිංහබාහුගේ ප්‍රථම හී දෙක ම සිංහයාට නො වැදීම සහ සිංහයාගේ සිත අරා සිටි පුතු සෙනෙහස යට ගොස්‌ කෝපය ඉස්‌මතු වූ කල එවන තෙවන හීය ළය පසා කිරීම පමණි. ඒ අධ්‍යාත්මික සබඳතාව ඉස්‌මතු කරන්නේ. එහෙත් පියසමර කවෙහි පිය-පුතු ගැටුමක්‌ නොව ඔවුන තර වූ හෘදයාංගම බැඳීම, සංකීර්ණ අධ්‍යාත්මික සබඳතාව මැනවින් නිරූපණය වෙයි. එ නයින් පියසමර වඩා ගැඹුරින් උක්‌ත සබඳතාව කවියට නගන බැව් කිව යුතුය. මෙවන් සුවිශේෂතා සහිත පිය සමර 1930 දශකය වන විට ස්‌ත්‍රිය, ප්‍රේමය, ස්‌වභාව සෞන්දර්ය ආදී ගතානුගතික වස්‌තු විෂයට සීමා වු සිංහල කවිය පුළුල් වපසරියක්‌ වෙත ගෙන යැමේ ගමනක ඇරඹුම ලෙස ද හැඳින්වීම නිවැරදි ය.

කවියා කුඩා කල ම මිය ගිය, ඉඳිගස්‌ ආරේ දොන් අබියෙස්‌ කුමාරණතුංග නම් වූ තම පියා, සිය භාව ලෝකයේ අසහාය වීරයා ලෙස වැජඹෙන්නේ කවර හේතු නිසා දැයි කියාපෑමටය. පියසමර ලියවුණේ. එහෙත් පියසමර ඔස්‌සේ සහෘදයා එකී නම් ගොත් ඉක්‌මවා ගොස්‌ සාම්ප්‍රදායික සිංහල ගැමි පවුලක පිය-පුතු සබඳතාව වෙත හදවතින් ගමන් කරයි. එහෙයින් එය පුද්ගලානුභූතීන් ඉක්‌මවා යන යුගයක්‌ ප්‍රතිනිර්මාණය කළ කවක්‌ බවට පත්වෙයි. එපමණක්‌ නොව මේ පිය- පුතු සබඳතාව අද ද අඩු වැඩි වශයෙන් ඈත ගම් දනව්වල අත්විඳිය නොහැකි යෑයි කිව හැකි ද? බොහෝ පුතුන්ගේ සිත්හි ජීවත් වන පියා අඩු වැඩි වශයෙන් පියසමරේ පියා නොවේ යෑයි කාට නම් කිව හැකි ද? ධනවාදී විවෘත ආර්ථික ප්‍රවාහයට හසුව නිවී ගිය එවන් අධ්‍යාත්මික සබඳතා අළු යට ගිනි පුපුරු මෙන් නොනිමි ඇතැයි සිතීම වැරදි?

හිර බසුත් මැ නිදන්නට යා නොදී
ගෙන ත මා මිදුලේ දිග බෝ වරක්‌
ඇවිදුවා බලවම්නි කියු කතා
මට දැනුත් මතකයි අයවයි නුවන්

පොළොව ආස වළා සඳ තාරකා
සෙවණ ගස්‌ ලිය ආදිය දක්‌වමින්
නුවණ දෙන්නට කී එ කතා සෙමෙන්
හැඩ ගැසී යෑ මගේ දිවි මේ විලස්‌

දශකයකට පමණ පෙර අප හැර ගිය අපේ තාත්තා පිළිබඳ මතක සැමරුම්, පියසමර කියවන කල නිතැතින් ම අප හදවත්හි පිබිද එයි. ඒ සැමරුම ඔස්‌සේ ඇතැම් විට පිය සමරේ මේ සිටින්නේ අපේ තාත්තා නොවේ ද? යන හැඟුමක්‌ අප සිත්හි පිළිසිඳ ගනියි. විශේෂයෙන් පෙර දැක්‌ වු කව් දෙක කියවත් ම අවට ලෝකය පිළිබඳ අනේක පැණ අසමින් මිදුලේ වු බංකුවක්‌ මතට වී පියා සමග අප ගත කළ, අතීතයේ සොඳුරු සැඳෑ කාලයක්‌ වෙත හදවත වහා ඉගිල යයි. පියා පිළිබඳ එවන් සොඳුරු මතක සැමරුම් අපට මෙන් ම බොහෝ දෙනාට තිබේ. ඒ අර්ථයෙන් ගත් කල පිය-පුතු සබඳතා පිළිබඳ සනාතන දහම කවියට නැගීමකි. පිය සමර සිය පියා පිළිබඳ උපන් භක්‌ත්‍යාදරය හෙළි කරනු වස්‌ ලියූ පහත දැක්‌වෙන එහි අවසන් කව අප හැම දෙනාගේ ම පැතුම නොවන්නේද?

මතු මතුත් සසරේ පිය බව්හි මා
ඔබ මැ වත් නො පතම් වැඩියක්‌ එයින්
රට පුරා බැලුයෙම් සමයෙක්‌ මෙ තෙක්‌
නොපෙනුණේ වැඩියෙක්‌ කො තැනින් පෙනේ

පිය සමර සිව්පදයට විකල්ප පිට රටින් ආනයනය කළ නිසඳැස්‌කරුවන්ගේ ඇස නොගැටීම අවාසනාවකි. වස්‌තු විෂයට උචිත සඳැස-විරිත තෝරා ගන්නේ කෙසේ ද යන්න ඔවුන්ට පිය සමරින් ගත යුතු ව තිබුණු ලොකු ම ආදර්ශයයි. එමෙන්ම ගුණදාස අමරසේකර නිවැරදි ව පෙන්වා දෙන පරිදි ම සිය කවියට අවැසි බස තනා ගැනීමට ඔවුන් ගුරුතන්හි ලා සැලකිය යුතු ව තිබුණේ ද පිය සමරයි. එහෙත් පිය සමර මැනවින් විඳගත හැකි ප්‍රතිභාසම්පන්න කවියෙකු, විචාරකයෙකු එකල පහළ නො විණි. එසේ පහළ විනි නම් නිසඳැස්‌ හෙවත් නොපැදි නම් ගද්‍ය පාඨ ඔස්‌සේ සිංහල කවිය වල්මත් නොවනු ඇත. ගාඪ බසින් ලියන තේරවිලි, ගූඪ දහම් ගැටපදවලට කවි යෑයි නොකියනු ඇත. සිංහල කවිය මෙතරම් පිරිහීමකට ගොදුරු නොවනු ඇත. නිසඳැස්‌කරුවන් තබා හෙළ හවුලේ සිටි කුමාරංතුංගයන්ගේ බොහෝ අනුගාමිකයෝ ද පිය සමර විශිෂ්ට කවක්‌ ලෙස හඳුනා නො ගත්හ. වවුලුව වැනි උපහාස කාව්‍ය උත්කර්ෂයට නැංවුවා විනා පිය සමර ගත් යථාර්ථවාදී කවි මග හඳුනා ගැනීමට ඔවුන් අසමත් විය.

එමෙන් ම සිංහල කාව්‍ය විචාරයෙහිලා කලින් කල පෙරට පැමිණි මාර්ටින් වික්‍රමසිංහ, ආරිය රාජකරුණා, පරාක්‍රම කොඩිතුවක්‌කු වැනි විචාරකයින්ට ද පිය සමර මැනවින් ග්‍රහණය කර ගත නො හැකි විය. මාර්ටින් වික්‍රමසිංහ මෙරට පහළ වූ විශිෂ්ටතම නවකතා විචාරකයා බවට විවාදයක්‌ නැත. එහෙත් පැදිය සහ නවකතාව එකිනෙකින් වෙන් කොට හඳුනා ගැනීමට ඔහු අසමත් විය. එහෙයින් ඔහු සාර්ථක පද්‍ය විචාරකයෙක්‌ ලෙස හැඳින්වීම නිවැරදි නැත. පිය සමර පිළිබඳ ඔහුගේ පහත විවේචනය ඒ සඳහා නිදසුනකි. ඒ අත්දැකීම් තම පියා හා නෑයන් පිළිබඳ වූවක්‌ය යන හැඟêම බැහැර කොට දකුණු පළාතේ සිංහල පවුලක උපන්නකුගේ පොදු අත්දැකීමක්‌ ලෙස ගෙන තවත් චරිත හා අවස්‌ථා ඇතුළු කිරීමෙන් වස්‌තුව සකස්‌ කොට මමත්වය නැසුවකු මෙන් වර්ණනා කිරීමෙන් කාව්‍යයක්‌ කළේ නම් එය මහා කාව්‍යයක්‌ වන්නේ ය. (නව පද්‍ය සිංහලය, මාර්ටින් වික්‍රමසිංහ 1992) මේ වූ කලී ශ්‍රීනාත් ගනේවත්තයන් ද වරක්‌ පෙන්වා දුන් පරිදි පිය සමර වස්‌තු විෂය පාදක කොට ගෙන සාර්ථක නවකතාවක්‌ ලිවීමට දෙන ලද උපදේශයකි. එහෙත් පියසමර සැඟව පැවති යුගයක තරුණ කවීන් විසින් පියසමර විමසිය යුතු යෑයි ඔහු පැවසීම අගය කළ යුතු ය.

සිංහල පද්‍ය සම්ප්‍රදාය පිළිබඳ මෙතෙක්‌ කරන ලද විශිෂ්ටතම විශ්ලේෂණය ලෙස සැලකෙන ගුණදාස අමරසේකරයන්ගේ සිංහල කාව්‍ය සම්ප්‍රදාය කෘතියේ කුමාරතුංග ගේ පිය සමර නමින් පරිච්ෙ-දයක්‌ තිබේ. එය මුල් වරට පළ වන්නේ 1996 දී ය. එහෙත් පිය සමරේ විශිෂ්ටත්වය පිළිබඳ ඊට බොහෝ කලකට පෙර සිට අමරසේකරයෝ යම් යම් තන්හි සිය මතය ප්‍රකාශ කළේය.

අපට ආවේනික වූ සිංහල කාව්‍ය සම්ප්‍රදාය යළි සොයා ගනු වස්‌, පසුගිය අඩ සිය වස තුළ දරනා ලද විශිෂ්ටතම ප්‍රයත්නය සාර්ථක ම අත්හදා බැලීම මුනිදාස කුමාරතුංගයන්ගේ පිය සමර කාව්‍ය යයි මම සිතමි. පිය සමර සිංහල කවිය අනාගතයෙහි ගත යුතු මාර්ගය මේ යයි පෙන්වන ප්‍රදීපස්‌ථම්භයක්‌ වෙයි. අප සතුව ඇති එකම ප්‍රදීපස්‌ථම්භය ද කුමාරතුංගයන්ගේ මේ නිර්මාණය විය හැක. (කාලය 1988 මාර්තු)

මෙහිදී යම්කිසි සැකයකින් යුතු ව පිය සමර පිළිබඳ පළ කළ අදහස්‌ සිංහල කාව්‍ය සම්ප්‍රදාය කෘතියේ වඩා තීර ලෙස ප්‍රකාශ කරනු දැකිය හැකිය.


කුමාරතුංග දැඩි සාම්ප්‍රදායික පඬිවරයකු යෑයි ද නිසඳැස්‌ ව්‍යාපාරය ඇරඹූවන් මහා නූතනවාදීන් යෑයි ද කියා දුර්මතයක්‌ අප අතර වෙයි. එහෙත් කුමාරතුංගයෝ ඉංග්‍රීසි කවියෙන් ලැබිය යුතු ආභාසය මැනවින් ලද්දෙකි. සිය කවි ශික්‍ෂාව කෘතියෙහිලා එහි අවශ්‍යතාව ඔහු පැහැදිළි කළේය. තෝමස්‌ ග්‍රේ ගේ පැදි කිහිපයක්‌ වවුලුවට ලියු විවිසිනුමෙහිලා (විමසුම) හෙතෙම සිංහලට නැගුවේ ය. පිය සමර වස්‌තු විෂයේ පවා ඉංග්‍රීසි ශෝක කාව්‍ය ක්‍රමයේ යම් ආභාසයක්‌ ප්‍රකට වෙයි. මේ අනුව කුමාරතුංගයන් පෙර කී නුතනවාදීන් වඩා ගව් ගණනක්‌ ඉදිරියෙන් සිටින සැබෑ නූතනවාදියෙක්‌ බව පැහැදිළි වේ. ඔහු නිසඳැස්‌ ලියූ නූතනවාදීන්ට වඩා ගැඹුරින් ඉංග්‍රීසි කවිය රස වින්දේය. තම සම්ප්‍රදාය අතැඹුලක්‌ සේ දැන එහි ශක්‍යතා පිළිබඳ මනා අවබෝධයෙනි ඔහු වෙනත් කාව්‍ය සම්ප්‍රදායක්‌ සමග ගනුදෙනු කළේ. එහෙයින් විවිධ කාව්‍ය මාදිලි, ආකෘති හමුවේ අන්දමන්ද වී වල්මත් නොවී සිටීමේ භාග්‍ය ඔහුට හිමි විය. අනුකරණය සහ ආභාසය යනු කවරක්‌ දැයි අපට ක්‍රියාවෙන් ම දක්‌වා සිටි දුලබ කවියෙකි. ඔහු කුමාරතුංගයන් මුළුමනින්ම කවියට කැප නො වුණ ද තමා කළ එක ම කාව්‍ය කෘතියෙන් සිංහල කවි කෙතට විශිෂ්ට සම්ප්‍රදානයක්‌ දායාද කළ හැකි වුයේ එහෙයිනි.

සිංහල කවිය යා යුතු මග කුමක්‌ දැයි නො දැන වල්මත් ව සිටින අද දවසේ අංකුර කවීන් ද සහෘදයින් ද පිය සමර වෙත නැවත යොමු විය යුතු යෑයි අපි යෝජනා කරමු. සොඳුරු කව් රසයක්‌ විඳ ගැනීමට අමතරව කවි බස, ආකෘතිය සහ වස්‌තු විෂය යන සියලු ක්‍ෂේත්‍රයනට ඉන් ලද හැකි ගුරුහරුකම් එමටය. කෘතියට එක්‌ කර ඇති ලිපි කිහිපය ඒ සඳහා කදිම අත්වැලකි. සැබැවින් ම පිය සමර සිංහල කවියා යා යුතු මං හසර හෙළි කරන පහන් තරුවකි. සෑම පියකු ම පුතකු ම කියවිය යුතු භාව කාව්‍යයකි. කියවන වාරයක්‌ පාසා සහෘද සිත් අපූර්ව කව් රසයෙන් පුරවාලන කව් රස ගුලාවකි.

නාමල් උඩලමත්ත



No comments