Breaking News

තොත්ත බබෙකුගේ - “උක්කුං” පොතක්!

දේශපාලන විඥානයක්, ජීවන දෘෂ්ටියක් හා කතා කලාව පිළිබඳ පරිචයක් නැති අය නවකතා ලියන්නට ගත් කල; එම කලාව පිරිහෙයි. එහි ප්‍රමිතිය බිඳ වැටෙයි. පාඨකයා නන්නත්තාර වෙයි. බටහිර සාහිත්‍යයේ ප්‍රමුඛ ගද්‍ය නිර්මාණ විශේෂය වූ නවකතාවේ මූලික ආධ්‍යාශ දෙකක් පවතී.
පළමුවන්න පාඨකයාගේ වින්දනයට අදාළ විස්මිත කතා වස්තු ගොඩනැඟීම ය. දෙවන්න පාඨක සමාජය නො දන්නා ජීවන යථාර්ථ හෙළිදරව් කරමින් ඔවුන්ගේ ජීවිත පරිඥානය පුළුල් කිරීම ය. මේ දෙකෙන් එකක් හෝ ඉටු නො වන කල ඒවා නවකතා ගණයට නො වැටේ.

රසවින්දනය ඇති කිරීම, හා ජීවිත පරිඥානය ලබාදීම පහසු කාර්යයක් නො වේ. පළමුව කතුවරයා ඒ සඳහා සුදුසුකම් ලබාගත යුතුය. ජීවිතය ගැනත්, සමාජය ගැනත් මෙලෝ හසරක් නො දන්නා මෝඩ ස්ත්‍රීනට නව ප්‍රබන්ධ ගෙතිය හැකි නො වේ. සමාජයට වැඩදායක නවකතාවක් ලියන තැනැත්තා පළමුව කලාව, දර්ශනය, ඉතිහාසය, දේශපාලනය වැනි විෂයයන් හදාරා දැනුමක් එකතු කර ගත යුතු ය. දෙවනුව සිද්ධි ගළපා කතා වස්තුවක් ගොඩනැඟිය යුතු ය.

තෙවනුව චරිත අධ්‍යයනය කරමින් තමන්ගේ අත්දැකීම් ප්‍රති-නිර්මාණය කළ යුතු ය. ඒ කිසිවක් නො කොට හිතට නැඟෙන බහුභූත සියල්ල නවකතා ලෙසින් එළියට දැමීම බලවත් අපරාධයෙකි. තොත්ත බබෙකු විසින් ලියන ලද “උක්කුං” කතාවක් කියවන්නට ලැබිණි. එම පොත “ඇස්” ලෙසින් නම් කර ඇත. කතුවරිය තාරකා වාසලමුදලිආරච්චි යැයි දක්වා ඇත. ඇයට තොත්ත බබා යැයි කියනුයේ මනුෂ්‍ය ජීවිත ගැන ශත පහක අවබෝධයක් නැති බැවිනි. “මොන්ටිසෝරි” යන ළමයින් ජීවිතය ගැන මීට වඩා ගැඹුරින් සිතනු ඇත.

ඇගේ කතාව උක්කුං කතාවක් වන්නේ නවකතාවක දක්නට ලැබෙන කිසිදු ශිල්ප-ධර්මයක් එහි නැති බැවිනි. එය අමු බේගල්වලින් ද, කුණුහරුපවලින් ද පිරී පවතී. කතාරසයක් ඉන් මතු නො වේ. ජීවිතයට වැද්ද ගත යුතු කිසිවක් ද එහි නැත. මෙබඳු ජරා පොත් ගැන සටහන් තැබීම සඳහා පුවත්පතක ඉඩ නාස්ති කිරීම තවත් අපරාධයෙකි. එහෙත් එම අපරාධය සිදු කළ යුත්තේ සිංහල පාඨකයා මේ මඩ ගොහො‍රුවෙන් බේරාගැනීම සඳහා ය.

මේ පොතේ පිට කවරයෙහි එන ආකර්ෂණීය පින්තූරවලට පාඨකයා රැවටීමට පුළුවන. රැවටී මිලක් ගෙවා මේ පොත ගන්නට පුළුවන. එහෙත් එහි ඇතුළ හිස් ය. කඩදාසි, තීන්ත පමණක් නො ව මිනිස් ශ්‍රමය ද අපතේ යවා සිදු කර ඇති මේ බොරුව සිංහල නවකතාවට කරන ලද අපහාසයක් සේ හැඳින්විය හැකි ය. කිංකිණි නම් රූපවාහිනී ශිල්පිනියක හා “ජේ” නම් අමෙරිකන්කාරයකු අතර ගොඩනැඟෙන පැණි බේරෙන ආදර කතාවක් මේ පොත පුරා ම එයි. කිංකිණි දරුවන් ඇති මවකි. ඇගේ වෘත්තිය ප්‍රවෘත්ති නිවේදිකා හෝ වැඩසටහන් නිෂ්පාදිකා විය හැකි ය.

ජේ නම් අමෙරිකන්කාරයා ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ පරිසරය පිළිබඳ ව්‍යාපෘතියක් නිමා කිරීමට ය. එහෙත් මේ කිසිවක් හරියට සිදු වන්නේ නැත. දිගින්-දිගට ම විස්තර කෙරෙන්නේ කිංකිණිගේ හා ජේගේ පැණි හැළියයි.

“you are so beautiful honey”
ජේ කිංකිණිට හෙමින් කිව්වා
“I love my American honey”
කිංකිණි එහෙම කියලා ඇස්වලින් හිනාවුණා.
(පිටුව - 155)


මේ කතුවරිය ලැජ්ජාව, භය, ජුගුප්සාව ආදී හැඟීම් නො දැනෙන කෙනකු ලෙස ද, දරුවන් වදා ඇති‍‍’මුත් දාරක ප්‍රේමයක් නො දන්නා කෙනකු ලෙස ද අපට හැඟී යයි. කතුවරිය සිටිනුයේ එක්තරා හීනයක ය. ඒ සිහිනයේ කුමාරයා අඩි හයක් උස නිල් ඇස් ඇති යෝධ අමෙරිකන්කාරයෙකි. මේ යෝධ මිනිසා සමඟ තොදොල් වීමත්, යහන්ගත වීමත් හැර වෙනත් අභිප්‍රායයක් ගැහැනියට නැත. බලාගෙන යන විට එය මානසික රෝගයකි. පොත කියවන සියලු ගැහැනුන්ට මේ රෝගය වැලඳුණහොත්; එතැනින් ම ශ්‍රී ලංකාව ඉවර වනු ඇත.

ඇතැම් විට මෙය විදේශීය කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් වන්නට ද පුළුවන. කිංකිණි නම් කාලකණ්ණි ගැහැනිය අපේ සමාජ හර පද්ධතියට ගරහයි. පවුල් සංස්ථාව බිඳ ගනියි. තම දරුවා ලවා හොර මිනිහාට තාත්තා කියවයි.

“අත්තම්මේ...”
සනීප පුටුවෙ හෙමි - හෙමිහිට පැද්දෙන
අතරෙ රෝස පෙත්තා අත්තම්මා දිහා බැලුවා.
“මං එයාට ගොඩාක් ආදරෙයි”
“කාට ද?”
අත්තම්මා නොදන්නා තාලෙන් ඇහුවා.
“ජේ තාත්තිට”
ඔයා එයාට අලුත් නමකුත් දුන්න ද?”
රෝස පෙත්තා හුරතලේට හිනාවුණා.
“ඒ නම ලස්සනයි. එයා ඔයාට ගොඩාක් ආදරේ වේවි...”
අත්තම්මාත් ඇස්වලින් හිනා වුණා.
(211 – 212 පිටු)

මේ නවකතාවේ එන මිනිසුන්ට හා ගැහැනුන්ට කටවල් නැත. ඔව්හු ඇස්වලින් ම සිනා සෙති. ඇස්වලින් ම කතා කරති. ඇස්වලින් ම පෙම් කරති. නාකි අත්තම්මා පවා ඇස්වලින් ම සිනාසෙනු දකින්නට ලැබේ. මේ නිරූපණවලින් පෙනී යන්නේ කතුවරිය පෙළන මානසික ව්‍යාධිය මිස අන් දෙයක් නො වේ.
“ඇස්” නමැති මේ පොත බලවත් සමාජ හානි හතරක් සිදු කරයි.

(I) පවුල් සංස්ථාවේ හරය විනාශ කරයි.
(II) දරුවන් නොමඟ යවයි. අත්තම්මලා නොමඟ යවයි.
(III) භාෂාව ඉතා නරක ලෙස විකෘති කරයි. විනාශ කරයි.
(IV) ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය ගැන බොරු කප්පරක් වපුරයි.

ශ්‍රී ලාංකේය සංස්කෘතිය තුළ පවුල යන සංකල්පයට විශාල බරක් ‍තිබේ. එය සැමියා - බිරිය, දරුවන් යන සාමාජිකයන්ගේ බැඳීම්වලින් ද ඉන් ඔබ්බෙහි සිටින ඥාති පරපුරෙහි බැඳීම්වලින් ද ශක්තිමත් ය. ආක්‍රමණිකයකුට එම ඒකකය වෙත පහසුවෙන් කඩාවැදිය නො හැකි ය. පවුලේ බැඳීම් පහසුවෙන් - ලෙහෙසියෙන් කඩා බිඳ දැමිය නො හැකි ය. කතුවරිය කිංකිණිගේ නිත්‍යානුකූල සැමියා නපුංසකයකු බවට පත්කර තිබේ. අත්තම්මා කෘත්‍රීම තැනැත්තියක බවට ද, දරුවා මෝඩයකු බවට ද පත් කර තිබේ.
අප්‍රිකානු කතා කලාවේ නූතන පුරෝගාමියා ලෙස ගෞරවයට පාත්‍රවන්නේ චිනුවා අචෙබේ ය. ඔහු වරක් කියා ඇත්තේ ස්වකීය සංස්කෘතියට, භාෂාවට හා හර පද්ධතියට හානි සිදුකරන ලේඛකයා කතා කලාවට පමණක් නො ව මුළු මහත් ජාතියකට ම ද්‍රෝහිකමක් සිදු කරන බව ය. මේ කතුවරිය ද සිංහල නවකතාවට පමණක් නො ව; අපේ ජාතියට ම ද්‍රෝහිකමක් සිදු කරයි.

මේ පොත දරුවකු අතට පත්වුවහොත් ඔහු ජීවිතය මල් - මල් යැයි සිතන්නට පුළුවන. හොර තාත්තලා ගැන සිහින මවන්නට පුළුවන. වරදෙහි බැඳෙන අම්මලාට ආදරය කරන්නට පුළුවන. ජීවත්වීම යනු දුෂ්කර ක්‍රියාවලියෙකි. ඒ සඳහා බොහෝ කැපවීම් කළ යුතු ය. දුක්ඛ - දෝමනස්ස ඉවසිය යුතු ය. “ඇස්” නම් කතාවේ පිළිවෙළට ජීවිතයට ඇත්තේ හොර සැමියන් කැටුව ප්‍රේම කිරීම පමණි. එම ප්‍රේමය මත්තේ හැපෙමින් ජීවිතය මල් - මල් කර ගත හැකි ය. මෙබඳු බේගල්වලින් පාඨකයා මුළාවේ දැමීම කෙතරම් පාපයක් ද?

කතුවරිය භාෂාව ඉතා නරක අන්දමින් විකෘති කරයි. එහි සම්ප්‍රදාය ආඛ්‍යාන රටාව හා ලාලිත්‍යය විනාශ කරයි.

“මොකක්දෝ නොතේරෙන තිගැස්මක් කිංකිණිගේ හිත අවුල් කළා... ඒක ඇපැහැදිලි... පැහැදිලි... ආයෙත් අපැහැදිලි වෙන ජාතියේ පුංචි තිතක් වගේ හැඟීමක්. දැන් ආයෙත් හිත වෙන තැනකට සංක්‍රමණය වුණා. ඉක්මනින් ම, News line channel එක. Live updates කාර් පාක් එකේ කාර් එක දාලා lift එකේ ඇවිත් 12 වැනි Floor එකේ එකට එන ටිකට හමුවුණු හැම කෙනාම කලබලේක. channel 9 එකේ වෙනදා උදේට තියෙන අලුත් නැවුම් ඒත් හරි ම ක්‍රියාශීලී කලබල ගතිය අද වෙනස්. කලබල ගතිය තිබුණා. ඒත් හැමෝගෙම මුහුණුවල තිගැස්මක්.”
“Traffic jam එකේත් ළතැවිලා lift එකේ තදබදයටත් මුහුණ දීලා කිංකිණි දැන් නම් ඔන්න News line එකේ.”
(පිටුව - 248)

කතුවරියට සිංහලෙන් හෝ ඉංගිරිසියෙන් හෝ නිවැරැදි ලෙස අදහස් ප්‍රකාශ කිරීමට පුළුවන්කමක් නැත. ඇය සිටිනුයේ බලවත් ආරවුලකය. ඒ හැරෙන්නට මේ තරමින් භාෂාව විකෘති කිරීමට ඇයට අයිතියක් නැත. භාෂාව ඇයට පමණක් සීමා වූ බූදලයක් ද නො වේ.

මේ පො‍ත් කබලෙන් හෙළිදරව් වන ලෙස ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීනට ඇත්තේ කුමාර ජීවිතය. ඔව්හු කාර්වල යමින්, හෝටල්වලින් කමින්, එකිනෙකාට පෙම් කරමින් ආශික් ජීවිත ගත කරති. එබඳු තත්ත්වයක් ශ්‍රී ලංකාව තුළ නැත. ජනමාධ්‍ය රැකියාවලට වෘත්තීය මට්ටමක් පවා තව ම ලැබී නැත. මේ ක්ෂේත්‍රයට සම්බන්ධවූවෝ තෝසෙ කඩවලින් වඩේ කමින්, ණයට ප්ලේන්ටි බොමින් ඉතා දුක්බර ජීවිත ගත කරති. ඔව්හු පවුල් සංස්ථාව තුළ නොයෙක් අකරතැබ්බවලට මුහුණ දෙති. දුක් විඳිති. සැනැසිල්ලක් ඇතොත්; ඒ සත්‍යය හෙළිදරව් කිරීමෙන් ලැබෙන තෘප්තිය පමණි.

තාරකා වාසලමුදලිආරච්චිගේ කතාවේ එන කිංකිණි සුනාමියකින් බේරීම සඳහා අමෙරිකන් හොර සැමියා ද කැටුව හෙළිකොප්ටරයකින් නුවරඑළියට යති. එම හෙළිකොප්ටරය ලබා ගන්නේ ද මහ පාරේ වාහන තදබදය නිසා ය. හෙවත් කතුවරිය කියන ලෙස “ට්‍රැෆික් ජෑම්” නිසා ය. මහ පුදුමයකි. ඔය හදිසියට හෙළිකොප්ටරයක් හයර් කිරීමට මේ අමෙරිකාව නො වේ.

කුමක් වුව සිංහල නවකතාවේ පෝෂණයට හරවත් දායකත්වයක් ලබා දෙන ලේඛිකාවන් පිරිසක සිටින බව ද ගෞරවයෙන් යුතු ව සිහිපත් කළ යුතු ය. තාරකා වාසලමුදලිආරච්චි වැනි අය එබඳු ලේඛිකාවන්ට ද අයුක්තියක් කරන බව සටහන් කරන්නට කැමැත්තෙමි.

3 comments:

  1. මෙහෙම පොත් වැහි වහින කාලයක් මේක. එවයෙන් පේන්නේ අපේ සමාජයේ පිරිහීම. මිනිස්සුන්ගේ මනසේ තත්වය තමා මේ. මේ වෙළදවාහිනීත් වග කියන්න ඕනා මේ ගොන් කම බෝ කරනවට සහ හොර දොස්තරලව, ටියුෂන් ගුරුන්ව ආදී තමන්ව මාකට් කරගන්න දඟලන ඕනෑම හොර තක්කඩියෙකුව පුම්බලා ගානක් හොයා ගන්න දඟලනවට..

    ReplyDelete
  2. ඔය සිරසේ වැඩ කරන අයට කොහොමත් ඇමරිකන් කාරයෙක් එක්ක තොදොල් වෙන එක ලොකු දෙයක් තමා

    ReplyDelete
  3. බොහොම ස්තුතියි රංජන් අමරරත්න මහතා මෙවැනි අදීන විචාරයක් පල කිරීම ගැන. ඇත්ත තමයි මේ වගේ කබල් පොත් ලියන්නියන්ට බැට දෙන්න ඕන හොදම විදියට තමයි ඔබ ලියලා තිබෙන්නේ.

    ReplyDelete