Breaking News

තක්කඩියන්ගේ සම්ප‍්‍රාප්තිය හා යහපත් මිනිසකුගේ නික්ම යාම

ජවිපෙ තුළ සිටියදී සුමතිපාල මානවඩු සහෝදරයා සමග මට තිබුණේ ලොකු හැදුනුම්කමක් නොව පුංචි හැදුනුම්කමකි.යම් යම් වැඩකටයුතුවලදී දින තුන හතරක් පමණ ඔහු මට හමුවී කතාබහ කොට තිබේ. පක්ෂය එකක් වුවද පක්ෂය තුළ සිටින පුද්ගලයන් විවිධාකාරය. එවන් විවිධ වූ සගයන් අතර දින තුන හතරකදී යන්තමින් දැන හඳුනාගත් සුමතිපාල සහෝදරයාගේ අනන්‍යතාවය මගේ සිත් පැහැර ගත්තේය. සුනාමි අවස්ථාවේදී දින පනස් හතකින් මුහුදුබඩ දුම්රිය මාර්ගය යළි ඉදිකිරීම වැනි මහා මිනිස් බල මෙහෙයුම්වල සාර්ථකත්වයට පවා, සංවිධායක ධූරය පුද්ගල මමත්වයේ ආභරණයක් බවට පත් කර නොගත් සුමතිපාල වැනි සහෝදරයන්ගේ නායකත්වය වැදගත් හේතුවක් වන්නට ඇතැයි මම විශ්වාස කරමි. එවන් වූ දේශපාලනයක දුර ගමනක් පැමිණි සුමතිපාල සහෝදරයා මෙරට දේශපාලනය ඉතා උණුසුම් මොහොතක නොසිතූ විරූ ලෙස තම ජීවිතය අතැර ගියේය. ඊයේ (මාර්තු 25 ) සවස මුද්දරගම පැවති ජන හමුවක් ඇමතීමට එමින් සිටියදී හදිසි අනතුරකින් ඔහු මළ පුවත ඉන් පැය දෙක තුනකට පසු මට දැන ගන්නට ලැබිණි. නාසි කඳවුරකට යවා සමූල ඝාතනය කළ යුතු ජඩයන් අහිනක් මන්ත‍්‍රීධූර ලැබීමට ආසන්න මොහොතකදී දිගු කල් ජීවත්විය යුතු මිනිසකු මරණය වැළඳගත්තේ එසේය.

 සුමතිපාල සහොදරයාගේ දේශපාලන ව්‍යාපාරය පිළිබඳ මා තුළ පැවති හා පවතින මිතුරු විවේචනය කුමක් වුවත් ඔහු වැන්නවුන්ගේ ශ්‍රේෂ්ඨත්වය හිස නමා පිළිගැනීමට ඒ විවේචනය කිසිදු බාධාවක් වන්නේ නැත. ලාංකීය දේශපාලනය උපරිම වශයෙන් පාදඩකරණයට ලක්ව ඇති මෙවන් කාලයක සුමතිපාල සහෝදරයා වැනි යහපත් මිනිසුන්ගේ භූමිකාව අප තුළ දල්වාලන පහන් සංවේගයට පක්ෂ භේදයක් තිබිය නොහැකිය. ඓතිහාසික සමත්කම් හා දේශපාලන සාපරාධ ඔස්සේ ඔහුගේ ව්‍යාපාරය කුමන ස්වයං විනාශයකට ලක්ව පසුබා තිබුණද සුමතිපාල සහෝදරයා අයත් වන්නේ දළ රළ අතර තම මව් උරින් ගෙන පිහිනූ බෝසත් පුතුන්ගේ ශ්‍රේෂ්ඨ පරම්පරාවකටය. එසේ වුවද ඔහු වැන්නවුන් මහා දේශපාලනයේ පිටස්තරයන් බවට පත් කරමින්, මව් සමග වුව අවල කෙලියේ නිරතවිය හැකි විගඩම්කාර නරුමයන් රොත්තක් අද වන විට මව්බිමේ නාමය විකුනමින් මැතිවරණ පොරයකට ඉදිරිපත්ව සිටිති. ඔවුන්ගේ සුබ අනාගතයට එරෙහිව නැගිටිය හැකි බොහෝ යහපත් බලවේග අද මේ බිමේ දුබල තත්ත්වයට පත්ව ඇත. ඒ අනුව පියාගේ මෘතදේහයෙන් උපන් දූවරුන්, ඒ මෘතදේහවලට වගකිව යුතු කුඩු වෙළ ඳුන්ගේ ගෝලබාලයන්, සාරි බේසම් උදලූතල බෙදාහරින පරිත්‍යාගශීලීන්, ජඩමාධ්‍ය ඔස්සේ දිදුලන තරු ලෙස ඔසවා තැබූ සෝබනකාර නොමේරූ දරුවන්,  මානසික ප‍්‍රතිකාර ලබාදිය යුතු වයස්ගත සිනමා නිළියන්, ජේත්තුකාර චෞරයන් වීම සඳහා වෘත්තීය පුහුණුව ලබන මැති ඇමති පැටවුන්, ආදී එකී නොකී අවලමුන් රැසක් නුදුරේදීම ඉහල මනාප සහිතව ජනතා නියෝජිත ධුර ලැබීමට නියමිතය.

 රතු ඉර ගිලෙන විට නැගී එනුයේ ඝනදුරය. යහපත් මිනිසුන් නික්ම යන විට සම්ප‍්‍රාප්ත වන්නේ තක්කඩියන්ය. සුමතිපාල සහෝදරයා රිය අනතුරකින් දිවි අත්හලේ මාර්තු 25 වැනිදා වුවද ඔහුගේ පරම්පරාව සාමූහික අනතුරකට ලක්ව දේශපාලන කරලියේ ඇද වැටුනේ ඊට බොහෝ කාලයකට පෙරාතුවය. මේ නිසාම ඔහු වැනි පරහිතකාමීන්ගේ උතුම් ශක්‍යතාවන්ට මේ බිම තුළ නිසි වටිනාකමක් හිමිකර දිය නොහැකි වීමේ සාමූහික අවාසනාව ගැන පක්ෂයක් ලෙස පමණක් නොව රටක් ජාතියක් ලෙසද අප නැවත නැවතත් කල්පනා කර බැලිය යුතුය. සුමතිපාල සහෝදරයා අකලට නික්ම ගිය මේ මොහොතේදී ඔහුගේ ජීවින භාවිතාව වෙනුවෙන් අපට පුදකළ හැකි හොඳම උපහාරය වන්නේද එයය.


-ඉසුරු ප්‍රසංග
යුතුකම සංවාද කවය

1 comment:

  1. විමලසේනMarch 27, 2014 at 12:39 AM

    ඔබ තුමාට නිවන් සුව පතමු!

    ReplyDelete