Breaking News

කාන්තා දින නාඩගම : ලක්මව දියණියන් පෙරට ආ යුතූය

කාන්තා දින නාඩගම පරදවමු

මාර්තූ 08 වනදා යනු තවත් එක් කාන්තා දිනයක් සමරමින් ලොව පුරා කාන්තාවන් “අභිමානවත් ” අන්දමින් විකිණෙන දිනයකි.ලොවපුරා සිටින කාන්තාවන් සැමරීම සඳහා ඇති කර ගත් කාන්තා දිනය බොහොමයක් රටවල විශාල උත්සවයක් මගින් සැමරීම සිදුකරනු ලබන්නේ කාන්තාවන් තවදුරටත් සමාජය තුළ පිරිහීමකට ලක්වෙමින් පවතින තත්වයක් තුළදීය.මෙසේ කාන්තාවන් සඳහා විශේෂිත වූ දිනයක් ඇති වුයේ සමාජය තුළ ඉතිහාසය පුරා ඇයට සිදුවුන අසාධාරණකම් හේතූවෙනි.නමුත් වර්තමාන සමාජයේ සිදු වී ඇති මිනිසාගේ නව සොයා ගැනීම්, විද්‍යාවේ දියුණුව මෙන්ම කාර්මීකරණය වැනි විප්ලවයන් මගින් සිදු වූ මානසික විපර්යාසය මගින් කාන්තාවද සමාජයට යමක් දායාද කල හැකි පිලිගත් චරිතයක් බවට පත්වෙමින් ඇත. ඉතිහාසය පුරා කාන්තාව සමාජයෙන් කොන් කරමින්, ශ්‍රම දායකත්වයට සහභාගි කර නොගැනීමෙන් කරන ලද හානිය වලක්වා ගැනීමට අද වන තෙක් පැහැදිලි නිශ්චිත වැඩපිලිවෙලක් නොමැත.පුරුෂයන් සමග එකිනෙකා ගැටෙමින් ශ්‍රම දායකත්වයක් සැපයීමට අද දවසේ ඇය සමත්වෙමින් ඇත.ඇය එම තත්වයට පත් වූයේ ස්ත්‍රි පුරුෂ භේදය නැතිකරමින් මෙන්ම සමාජය තුළ පැවති, කාන්තාවට කිසිත් කල නොහැකිය යන මතවාදය බිඳ දමමිනි. නමුත් මෙම ක්‍රියාවලිය පිටුපස සැඟව තිබුනේ සංවර්ධනයේ සැඟව ගිය අවස්ථාවන් නොවේද? ඇය මෙයට පෙර සමාජ දායකත්වයකට හිමිකම් කියුවේ නම් වඩාත් හොඳ හෙටක් උදාවීමේ දිනය තව තවත් ලං වීමට හැකියාවක් තිබුණි.

වර්තමානයේ බොහොමයක් අංශයන්ගෙන් කාන්තාව ඉදිරියට එමින් පවතී. නමුත්,අතීතයේ කාන්තාව තමාගේ අයිතවාසිකම් වෙනුවෙන් අරගල කර දිනාදුන් යමක් වර්තමාන සමාජය තුළද නොමැත. කාන්තා විමුක්තිය ඇය විසින් ලඟා කරගෙන ඇතැයි කීම විහිලුවකි. ගතානුගතික සිතූම් පැතූම් මෙන්ම ගරාවැටුන මනසකින් සිටින ස්ත්‍රිය අද වන විට සමාජ සංවර්ධනය ක්‍රියාවලියට දායක වෙමින් සිටී. මිත්‍යා විශ්වාස සහ ආගමික බැඳීම් වලින් මනස පුරවා ගත් ඇය තම ජීවිතය වාරණය කර ගනු ලැබුවේ තමාට කිසිවක් කිරීමට හැකියාවක් නොමැති ලෙසට සමාජයෙන් ඔලුගෙඩි තුළට දමන ලද විශබීජ වලින් නොවේද? තම පීඩනය දරාගත නොහැකි තත්වයක් තුළදී කාන්තාව තම නිදහස වෙනුවෙන් සමාජමය අරගලයකට යොමුවීම කාන්තා දිනයක් උදාවීමට බලපෑ සාධක වේ. නමුත් වර්තමානයේ එම උත්තරීතර අභිප්‍රාය මුදලට සහ දේශපාලන පක්‍ෂවල පැවැත්ම සඳහා විකිණෙමින් පැවතීම ඛේදජනකය.

අතීතයේ කාන්තාව මුලුතැන්ගෙයට පමනක් සීමා වී නිවසේ වැඩ පමනක් කිරීමට සැලැස්වීමෙන් ඇයගෙන් සමාජයට ලබා ගත හැකිව තිබූ දායකත්වය මෙන්ම ඇයගෙන් තම පවුල වෙත ලබා ගත හැකි මහඟූ කාර්යයන් කෙලෙසී ගියේ සමාජය තුළ පැවති මානසික නොදියුණු කම හේතූවෙනි. ඇය ලබා ගත යුතූ නව දැනුම,ආකල්ප ඇයට අහිමි වී එක්තරා රාමුවකට පමණක් සිරවී සිටීමට සිදුවීම ඉතිහාසයේ සිදුවු දැවැන්තම ඛේදවාචකයකි. පවතින සමාජ ක්‍රමය තූලින්ම නිර්මාණය වූ සමාජයෙහි ජීවත් වන්නන් බෙදී වෙන් වීම එම සමාජ කූමය විසින්ම අරගල කිරීමට පසුබීම සකස් කර ඇත.

කාන්තාව පෙරමුණ ගත්තේ තමන්ට අහිමි වූ අයිතිවාසිකම් වෙනුවෙන් පමණක්ම නොවේ. ලංකාව තුළ සිදුවූ වඩාත් සුන්දර හෙටක් නිර්මාණය කිරීමේ භාරදුර කාර්්යය තුළදී පාලක ම්ලේච්ඡයන් විසින් කාන්තාවන් දූෂණය කරමින් මෙන්ම ඝාතනය කරමින් කරන ලද සැහැසිකම් අප්‍රමාණය. නමුත් එම වීිරත්වය සඳහා වටිනාකමක් නොදෙන සමාජය ප්‍රෝඩාකාරී රැලි පවත්වමින් එම දිරිය දියණියන් තවදුරටත් අලෙවි කරනුයේ තම දේශපාලන වඳභාවය තවදුරටත් ප්‍රදර්භනය කරමිනි. වර්තමාන සමාජය තුළ ප්‍රධානතම වෙළඳ භාණ්ඩයක් වී ඇති කාන්තාව ඉන් මුදවා ගැනීමට සමත් බලවේගයක් ලක්මව දියණියෝ ලෙස බල මුලු ගැන්විය යුතූ වනුයේ තවදුරටත් කාන්තාව ව්‍යසනයෙන් මුදවා ගැනීමේ මෙහෙවර පෙරදැරි කරගෙනය.
පසුගාමී ආසියාතික සමාජ ක්‍රමයන් හිස් මුදුනින් පිලිගන්නා ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල සමාජ සම්මතයන් මගින් ජනතාවගේ මානසික මට්ටම පසුගාමී තත්වයට පත්කර ඇත.මෙහි ප්‍රතිඵලයක් ලෙස තවමත් කාන්තාව යම් යම් අංගයන්ගෙන් සමාජය තුළ ප්‍රශ්නාර්ථයකට ලක් වන අවස්ථා ඇත.ශ්‍රි ලංකාවේදී විවාහයක් සඳහා ලබා දෙන දෑවැද්ද කාන්තාව සමාජය ඉදිරියේ අපහසුතාවයකට ලක් කර ඇති ප්‍රධාන අංගයකි. තම පවුල තුළ කාන්තාව පීඩාවට පත් කරන සැමියන් මෙන්ම පියවරුන්ද අපමණය. කාන්තාවක් වී ඉපදීම හේතූවෙන් තම ජීවිතයයෙන් පීඩා විඳින කාන්තාවන් ලාංකීය සමාජය තුළද අපමණය. මෙම අපහසුතාවයන් මගින් ඇතිවූ මානසික පීඩාව විඳින කාන්තාවන් කෙතරම් සිටිනවා ඇද්ද? මානසික පීඩාව නිසා ජීවිතයෙන් සමුගත් හෝ මානසික විකෘතිතාවයකින් පෙලෙන කී දෙනෙකූ නම් සිටිනවා ඇද්ද? කාන්තාවන් වෙනුවෙන් අමාත්‍යාංශයක් මෙන්ම ඇමතිවරයකූද සිටින ආසියාවේ ආශ්චර්යයට පියනගන අප පුණ්‍ය භූමියේ කාන්තාවගේ තත්වය පිළිබඳ කතා කිරීමම විහිලුවක් බවට පත් වී ඇත.

වර්තමානයේ පවත්නා කාන්තා දින සැමරුම් හුදෙක් දේශපාලන වාසියක් පිණිස හෝ රාජ්‍ය නොවන සංවිධාන වල ආධාර මත සිදුකරන නාඩගම් සැණකෙලියක් වී ඇති බව පැහැදිලිය. කාන්තාව අරගල කල යුත්තේ සමතැන හෝ නිසි තැන ඉල්ලා නොව සමාජය තුළ පිලිලයක් වී ඇති මෙම මානසිකත්වය වෙනස් කිරීමේ භාරදුර අරගලයට නොවේද? කාන්තා දිනය වෙනුවෙන් බැනර් ප්‍රදර්ශනය කරමින් සිදුකරන ආටෝපය වෙනුවට වර්’ෂයේ එක් දිනකට පමණක් සීමා නොවී එම සමාජ සත්කාරය සිදුකිරීමට සියලුම කාන්තාවන් පෙරමුණ ගත යුතූව ඇත. සැබෑ කාන්තා දිනයක් සැමරිය හැකි වන්නේ පසුගාමී මානසිකත්වය තූරන් වී කාන්තාව විසින් සමාජ සංවර්ධනයට සිදුකරනු ලබන මෙහෙවර වෙනුවෙන් සමාජය තුළ පිලිගැනීමට ලක් වු විට පමණකි.
ජීවිතය වඩාත් නැවුම් ලෙස භූක්ති විඳිය යුතූය. ඒ සඳහා එකාවන්ව පෙල ගැසිය යුතූ කාලය එළඹ ඇත. දැඩි සමාජ මෙහෙවරක යෙදෙමින් සමාජ සංවර්ධනයට දැඩි දායකත්වයක් සපයන කාන්තාව සමාජය තුළ ඇගයීමකට ලක් කිරීමට හැකි වන්නේ සියල්ලන්ගේ මානසිකත්වය ඉතා හොඳ මට්ටමකින් තැබිමෙන් පමණි. ඒ සඳහා වසරේ එක් දිනකදී පමණක් උජාරුවෙන් සමරන සැමරුම් වලින් ඇත්වී කාන්තාව සමාජය තුළ හිමිකරගෙන ඇති තත්වය වෙනස් කිරීම සඳහා පෙල ගැසිය යුත්තේ එම මානසික මෙහෙයුම මගින් පමණක් කාන්තාව සඳහා වඩාත් පැහැදිලි හෙට දවසක් නිර්මාණය කර ගත හැකි නිසාය.

මෙම කාරණා සඳහා තම අවධානය යොමු නොකරන දේශපාලන පක්‍ෂ මෙන්ම ඩොලර් මත යැපෙන කාන්තා සංවිධාන කාන්තාව තවදුරටත් පිරිහීමකට පත්වීම තම හෙටදිනය සඳහා යහපත් බව දනී.නමුත් සිදුවිය යුතූ වන්නේ පැහැදිලි වැඩපිලිවෙලක් සහිත ක්‍රියාවලියක මූලාරම්භයයි. ඒ සඳහා නිවරදි නායකත්වයක් මත සමාජයම පෙලගස්වමින් ලක්මව දියණියන් පෙරට ආ යුතූමය.

(මාර්තු 08 වනදාට යෙදුණු ජගත් කාන්තා දිනය නිමිත්තෙනි)



- ඉන්දික ප්‍රසාද් ගමගේ
යුතුකම සංවාද කවය
www.yuthukama.com

No comments