Breaking News

නිරුවත හමුවේ නිරුවත්වන දේශපාලනය

කාටූනය - ලක්බිම පුවත්පතෙන්


"මැතිවරණ යනු රූප සුන්දරියන් හෝ අයෝමය පුරුෂයන් තේරීමේ තරඟ නොවන බව එජාප ය තෙරුම් ගත යුතුයි" -ප්‍රවාහන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම
[13 අහෝස්තු 2009]

කතාව දෝලාවෙන් ගමන පයින්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ භාණ්ඩාගාරික ඩලස් අලහප්පෙරුම ඇමතිවරයා ඉහත ප්‍රකාශය අඩංගු අදහස් පලකළේ 2009 පැවති ඌව පළාත් සභා මැතිවරණය අවසන්ව එහි උද්‍යෝගය අස්සේම දකුණු පළාත් සභා මැතිවරණයට සූදානම් වෙමින් සිටි අවධියේය .එහිදී ශ්‍රිලනිප භාණ්ඩාගාරිකවරයා එජාපයට අවඥා සහගතව  පෙන්වා දෙන්නේ රූප සුන්දරියන් , අයෝමය පුරුෂයන් ආදී ජනප්‍රිය රැල්ලේ  චරිත වෙනුවට දේශපාලනයට ගැලපෙන හරයක් ඇති චරිත ඉදිරියට එවන ලෙසයි . ඒ වන විටත් එජාපය උතුරු මැද සඳහා ජානක පෙරේරාත් , සබරගමුවට රන්ජන් රාමනායකත් බස්නාහිරට රෝසි සේනානායකත් ඉදිරිපත් කරමින් 'තරු' පසුපස හඹා යෑම ආරම්භ කර තිබිණ. විපක්ෂයේ ඒ උත්සාහයේද අවසන් ඵලය පරාජයෙන් අවසන් වීම හේතුවෙන් ඩලස් ඇමතිවරයා ඉහත ප්‍රකාශය ආඩම්බරයෙන් යුතු හඬින් පළ කලේ තම පක්ෂයට එවැනි අවර ගනයේ ක්‍රියාමාර්ග ගැනීමට කිසිඳු අවශ්‍යතාවයක් නැති බවත් අරටුවක් ඇති මිනිසුන් තමන්ට හිඟ නොවන බවත් ඉඟි කරමිනි .
නමුත් ඒ පුවත පලවූ තීන්ත වියැලෙන්නටත් පළමුව දකුණු පළාත් සභා මැතිවරණය සඳහා කුජීත වූ සිනමා නිලියක් ඉදිරිපත් කිරීමට තරම් ශ්‍රීලනිපය බාල තීන්දුවක් ගති . 2010 දකුණු පළාත් සභා මැතිවර්ණයෙන් ඇය ගාලු දිසාවෙන් පළාත් සභා ඉනිමගට ගොඩ විය . එකලද සමාජය තුල හුදු ජනප්‍රිය චරිත පිළිබඳ යම් කිසි කතා බහක් ඇති වුවත් එය උඩට මතු වන්නට කලින්ම ටික දිනකින් මිලින වී ගියේය . අද නැවතත් ඒ කතාබහම නැවත කරළියට පැමිණ ඇත්තේ ඉදිරියේදී පැවැත්වෙන දකුණු හා බස්නාහිර පළාත් සභා මැතිවරණ සඳහා සිනමාව - ටෙලි
නාට්‍යය - වේදිකාව හරහා මෑත කාලයේ කතාබහට ලක් වූ චරිත කිහිපයක්ම නාම යෝජනා අපේක්ෂාවෙන්  පක්ෂ කිහිපයකම නාමයෝජනා මණ්ඩල වෙත ඉදිරිපත් වීමත් සමගය .

මේ කවුද?

48 නිදහසින් පසු ලංකා ඉතිහාසය මෙන්ම ලෝක ඉතිහාසය පිරික්සීමේදීත් සිනමා තරු දේශපාලන භූමියට පැමිණි අවස්ථා දුලබ නොවේ .  ආසියාතික කලාපයේ පමණක් නොව ධවල පාලන තන්ත්‍ර තුලත් සිනමා ආගමනයන් සුලභව දැකගත හැකිය . නමුත් අපට ශ්‍රී ලංකා දේශපාලනය තුල යම් කිසි තරමකට හෝ සාර්ථක වූ සිනමා තරුවක් වූයේ නම් ඒ විජය කුමාරතුංගයන් පමණි . ඔහුගේ මතවාදය සමග මෙන්ම දේශපාලන තොරාගැනීම් සමග එකඟ නොවූවකු වුවත් ඔහු තුල යම් කිසි දේශපාලන පෞරුෂයක් තිබූ බව පිළිගන්නවා ඇත .  ශූර දේශපාලනඥයෙකු වූ ජේ ආර්  ජයවර්ධනයන්ට පවා අභියොගයක් යැයි සිතෙන මට්ටමට පැමිණීමට විජය සමත් වන්නේ ඒ දේශපාලන  පෞරුෂය නිසාය .

නමුත් අද බස්නාහිර හා දකුණු පළාත් සභා නාමයෝජනා මණ්ඩල ඉදිරියට පැමිණි නළුනිළියන් , ගායිකාවන් යැයි කියාගත්තවුන් ආදිය දෙස බලද්දී එකවරම සිතට එන්නේ කුඩා කල රූප යා කර නොගැලපෙන රූප ඉවත් කළ ප්‍රාථමික පන්තියේ අභ්‍යාසයයි . ඒ බාලාංශ අභ්‍යාසයවත් නොවරදිව උගත්තේ නම් කතා බහකට ඉඩ නොතබාම මේවා පාලකයන් වීමට නොගැලපෙන  රූප ලෙස ඉවත් කරන්නට නාමයොජනා මණ්ඩලවලට සහ ඒවායේ නූල් නටවන මහ මොළ කරුවන්ට අපහසු වන්නේ නැත .
අප මොවුන් එසේ නොගැලපෙන රූප යැයි කියන්නේ අධ්‍යාපන සහතිකවල ඇති සාමාර්ථය කුමක්දැයි බලා නොවේ .  දේශපාලනයට පැමිණිය යුත්තේ
පොතේ  උගතුන් පමණක් යැයි අප විස්වාස නොකරමු. එසේ කීමම බොරු ප්‍රබුද්ධත්වයක් පෙන්වා සැබෑ ප්‍රශ්නය වසා දැමීමකි .  මක් නිසාද යත්  පාර්ලිමේන්තු යන්නේ 'නූගතුන්' යැයි ජනප්‍රිය මතය වුවත් සංඛ්‍යා දත්ත අනුව බලද්දී නම් එම ප්‍රකාශයේ එතරම් සත්‍යතාවයක් නොපෙනීමයි.  77න් පසු යුගය තුල පාර්ලිමේන්තුවේ සිටින බහුතරය  අධ්‍යාපන සහතික  අතින් උගතුන් , විශේෂයෙන් එයිනුත් බහුතරය නීති ක්ෂේත්‍රයේ උගතුන් බව සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි .  එතනිනුත් තීන්දු තීරණ ගන්නා කැබිනට් මණ්ඩල තුල මේ කියන උගත් කුලකයට අයත් නොවූවකු සිටියේ නම් ඒ කලාතුරකිනි . එලෙස බලන කල අප විඳිමින් සිටිනුයේ මේ පොතේගුරු උගතුන් හුදු උගතුන් විනා බුද්ධිමතුන් නොවීමේ පාපය දැයි යමෙකුට සිතුනහොත් සිතුනහොත් එහි වරදක් නැත .

අපට මේ චරිත ගැන විවේචනය ඇත්තේ මොවුන් කොතෙක් දුරට මේ පොළවේ මුල් අල්ලා ඇත්ද යන්න මතයි .  කොතෙක් දුරට දේශපාලන පෞරුෂයක් නිර්මාණය කරගත හැකිද යන්න මතයි .  එසේත් නැත්නම් අනාගත පාලන තන්ත්‍ර තුලදී කොතෙක් දුරට හරාත්මක මැදිහත්වීමක් සිදු කල හැකි ශක්‍යතාවයක් ඇත්ද යන්න මතයි . මේ කුමන අයුරකින් බැලුවත් මේ කිසිඳු 'තරුවකට' තරු ලකුණු දිය නොහැකි බව අමුතුවෙන් කිව යුතු කරුණක් නොවේ .

මේ 'තරු' නොවන අනෙකුත් අපේක්ෂකයන් පරමාදර්ශී යැයි මෙයින් අදහස් නොවන බව අමුතුවෙන් කිව යුතු නැති මුත් මේ අලුත් නාටකාංගන ප්‍රවණතාවය පිළිබඳ වෙසෙසින්ම අවධානය යොමු කළ යුතු වේ . එය කිසි සේත්ම පලාත් සභා තුළ පිළිලයක් සේ පැතිරී ගොස් ඇති පුත්‍ර සමාගම් හෝ  සහෝදර සමාගම් සාධාරණීකරණය කිරීමක් නොවේ .



ඇඟ පෙන්නා රට සැදුමට

මේ නාටකාංගනාවියන් අතරින් බොහෝ දෙනෙක්ට මේ අපේක්ෂක ලොතරැයි වාසනාව ලැබෙන්නේ වෙනකක් නිසා නොව ලිංගික උද්දීපක ලෙස මේ සමාජයේ එක් ස්ථරයක් තුල ඉතා කෙටි කලක් තුල ලබාගත් ලාබ  - බාල  ජනප්‍රියත්වය නිසාය යන්න සැඟවිය යුතු කරුණක් නොවේ.  බස්නාහිර හා දකුණේ සන්ධාන ලැයිස්තුවට ඒමට සිටින සිනමා 'තරු' මෙන්ම එජාපය සොයා ගත් අලුත් 'තරුද' මේ ගොන්නටම අයත් එක වල්ලේ පොල් බව සිහි මොළ ඇති කිසිවෙකුට වුවත් වැටහෙන කරුණකි . මේ කරන්නේ පොදු ජනතාවගේ  ඉල්ලුමට සැපයුම් කිරීම ( ඔහුගේම වචනයෙන් නම් demand එකට  supply කිරීම ) බව ඇමැත්තෙක් මහත් උජාරුවෙන් රූප පෙට්ටියෙන් කියනු මෑතකදී දුටිමි . මේ නාටකාංගනාවියන් සැපයුම් කරන්නේ කුමන ඉල්ලුමටද යන්න මොලේ කලඳක් ඇත්නම් මේ ඇමැත්තන්ට වැටහිය යුතුය . මොවුන්ට ඉල්ලුමක් ඇති බව සැබෑමුත් එය කෙසේවත් තමන්ගේ පාලකයන් කරන මෙන් ඉල්ලුමක් නම් නොවේ. මොවුන්ට ලිංගික උද්දීපක ලෙස හා ඊනියා ජනප්‍රිය රැල්ලේ චරිත ලෙස මේ ප්‍රාථමික ඉල්ලුම ඇති කළේ බාල ජනප්‍රියත්වය උදෙසාම කැපවුනු ජනමාධ්‍ය හා ප්‍රචාරණ මාධ්‍ය හරයා මිස වෙනකකු නොවේ.

පාලකයින් සිටිනුයේ පිරිහුනු සමාජන එයින් ගොඩ ගැනීමට මිස පල් වල ඉහගෙන කන්නට සැරසෙන උන් මෙන් සමාජ දේහයම කුණු වන්නට හේතු විය හැකි සිදුවීම් තමන්ගේ දේශපාලන එදා වේල වෙනුවෙන් කළමණාකරණය කරගැනීමට නොවේ.  අප අද යම් පරිහානියක සිටී නම් පාලකයන් වෙනුවට ලිංගික උද්දීපක    සැපයුම්  කිරීමෙන් ඒ පරිහානිය වැඩි වේද අඩු වේද යන්න පමණක් නැවත සිතා බැලුවහොත් සෑහේ . එදා 70 දී සිරිමාවෝ මැතිණිය මහින්ද රාජපක්ෂලා වෙනුවට පිරුණු ළැමත් පුළුලුකුලත්  මත පමණක්ම පදනම්ව අපේක්ෂකයන් තේරුවේ නම්  අද කුමක් වේද? සමාජයක් ගෙන යා යුත්තේ ආනන්දයෙන් ප්‍රඥාවට යැයි කියමනක් තිබේ . නමුත් මේ දතකන්නට හදන්නේ සමාජය ප්‍රඥාවට  නොව "ආනන්දයෙන්  මරදානට" ගෙනයාමටය .

පුවක් බඩවලින් ගෙවල් හැදීම

මේ හදිසි 'තරු' ආගමනය අප වටහා ගන්නේ කෙසේද? විශේෂයෙන් ආණ්ඩු පක්ෂය හරහා ඉදිරිපත් වී ඇති නාටකාංගනාවියන් පාලකයන් වීමේ මනෝභාවයට පත් වූයේ අද රට - ගම කරවන්නන් දිහා බලා ද? ස්ත්‍රී දූෂණ චෝදනා ලැබූවන් කුඩු , මත් පැත් මත් ද්‍රව්‍ය ජාවාරම් සමග නම් කැත කරගත්තවුන් මෙන්ම බුකි කරුවන් ආදීන් ව්‍යවස්ථාදායකයට ගිය අපූරුව බලා සිටි විට මේ නාටකාංගනාවියන්ට තමා ඔවුන්ට වඩා සුදුස්සන් යැයි සිතුනාවත් ද? එසේත් නැත්නම් ඉහත සඳහන් කළ චරිත විසින් තමන්ට වඩා උස් චරිත මතු වීම වැලැක්වීමේ අරමුණින් නාටිකාංගනාවියන් කරළියට ගෙනාවාද? කෙසේ වෙතත්  විදග්ධ නිළිකමකින් වත් හරියට පෝෂණය නොවුණු  , ශ්‍රැතියකට පද හතරක් ගායනය කළ නොහැකි මේ බොහෝ දෙනා තමන්ගේ රූපය - පැහැය  වියැකී යන අනාගතයේ අත්වන ඉරණම ගැන සවිඥ්ඥානිකත්වයෙන් ඒ ඉරණමෙන් ගැලවෙනු වස් අනාගත ඉල්ලමක් වෙනුවෙන් පතලට බැස්සාවත් ද? එසේත් නැත්නම් පෞරුෂයක් හිමි චරිත ඉදිරියට ආවහොත් ඇතිවන අපහසුතවයන්ට වඩා මේ පුවක් බඩ  චරිත වලින් තම තමන්ගේ දේශපාලන අනාගතය  සුරක්ෂිත වේ යැයි පාලකයන් තකතීරු සිතුවිල්ලක පසු වෙත් ද?  මේ අනුමාන කිරීම් වලින් එකක් නියත ලෙස තෝරාගත නොහැකි වුවත් මේ ආගමනටට මේ කරුණු වල එකතුවක් බලපාන්නට ඇතැයි යන්න සාධාරණ නිගමනයකි .

දශක දෙකක් පමණ පුරාවට පරාජයේ කරවටක් ගිලී සිටින එජාපයට මේ මොහොතේ දේශපාලන සදාචාරකම් පහදා දීම එතරම් වැඩදායක උත්සාහයක් නොවේ .  ගිලෙන මිනිහා පිදුරු ගහේත් එල්ලෙන්නාක් මෙන් එජාපය දැන් වාර ගණනාවකදීම කිසිඳු හරයක් නැති මෙවැනි අත්හදාබැලීම් ගණනාවක් සිදු කර තිබේ .  සිනමා තිරයේ වීර චරිත රඟන්නේ යැයි කියන්නන් පාර්ලිමේන්තුව තුළද ඒ චරිත ඒ අයුරින්ම යළි නිරූපණයට ගොස් විකට චරිත බවට පත්ව තිබ්න්නේ ඒ අත්හදාබැලීම්වල ප්‍රතිඵළ  ලෙසය .

නමුත් ආණ්ඩුවේ තත්වය මීට වඩා වෙනස් ය . පසුගිය වාර කිහිපය පුරාවටම මෙන්ම තවමත් මේ ආණ්ඩුව චන්ද දිනන්නේ වෙන කිසිවක් නිසා නොව මහින්ද රාජපක්ෂ චරිතය නිසාය . ත්‍රස්තවාදයට එරෙහි යුධ ජයග්‍රහණයෙන් දැවැන්තයෙක් වුනු ඒ දේශපාලන පෞරුෂය අද වන වුට තැනින් තැන කඳ පණුවන් ගසා ඇති මුත් අදද  ආණ්ඩුවේ චන්ද මැෂිම මහින්ද රාජපක්ෂ මිස වෙන මොන බලකායවත් නොවේ .  එහෙව් එකේ මේ නාටකාංගනාවියන් ඉල්ලුමට හරියන සේ සැපයුම කිසි සේත්ම ප්‍රඥා ගෝචර තීරණයක් නම් නොවේ .

මේ අවස්ථාවේ මැතිවරණයේදී ප්‍රාදේශීය පුද්ගල සාධකයේ බලපෑම අල්ප වන අතර ඉදිරි ජනාධිපතිවරණය හා මහ මැතිවරණයක් ඉල්ලක්ක කරගනිමින් මේ කරන ඡන්දය ජාතික දේශපාලන කරුණු උරගා බැලීමට පමණක් සීමා වනු ඇත . එබැවින් ආණ්ඩු පාර්ශවයෙන් සිදු විය යුත්තේ දේශපාලන උද්ධච්චකම අතැහැර  ජාතික දේශපාලනය තුළ  ආණ්ඩුව විසින් උවමනාවෙන්ම මෙන් හිතුවක්කාර ලෙස අහිමි කර ගනිමින් සිටින ඡන්ද ප්‍රමාණය රැක ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමය . නිදසුන් ලෙස කැලණියට කුප්‍රකට කුණු ගොඩ නැවත යවා එය වසා ගැනීමට සළු පිළි අඩුවෙන් ඇන්දවූ නළඟනන් යැවීම හරසුන් වැඩකි . සමාජය ඉදිරියේ කුජීත වූ චරිත පවා ජනාධිපතිවරයාගේ ආර්‍ය ජාතික ඇඳුමේ සෙවනැල්ලෙන් මුවා කර පළාත්සභාවට තල්ලු කර යැවීමට කටයුතු කෙරෙමින් පැවතීම යහපත් හෙටක් වෙනුවෙන් විස්වාසය තැබූ ජනයා එම විශ්වාසයෙන් ඈත් කිරීමක් පමනක්  නොව අනාගතයේ පාලන තන්ත්‍ර අදටත් වඩා විකාරරූපී වීමේ පෙරනිමිත්තක් බවද මතක් කළ යුතුය .

අනාගත අනතුර .

අභියෝගයක් එල්ල කිරීමට වත් නොහැකි තරමට ප්‍රධාන විපක්ෂ බලවේග දුර්වල වී ඇති , එමෙන්ම ආණ්ඩුවේ දේශපාලන ජඩකම්වලට - පාදඩකරණයට එරෙහිව යැයි කියමින් අලුත් පෙරමුණු බිහිවෙන වටපිටාවක් තුලදී මෙවැනි අමන තීරණ ක්‍රියාත්මක කිරීමට යෑමේන් සිදු වන්නේ ආණ්ඩුව තමන්ගේ වල තමන්ම කපා ගැනීමක් හැර වෙනකක් නොවේ. මේ අවස්ථාවේ මෙවැනි මිනිසුන් මැතිවරණයට ඉදිරිපත් කිරීමන් හැකි තාක් වැලකී සිටීමට ශ්‍රීලනිප බලධාරීන්ට ජවයක් - විභවයක්  පවතී .නමුත් ඒ සියලු අනගි අවස්ථාවන් නොසලකා හැරින තැනට කටයුතු සිදු වෙමින් පවතින බවට පෙරනිමිති පළ වෙමින් තිබේ . හොරුන් ,තක්කඩියන් ,බුකිකරුවන්,ස්ත්‍රී දූෂකයන් පවා මැතිවරණවලට ඉදිරිපත් කිරීමෙන් පසු මුදල් සහ වෙනත් සංදර්ශන වලින් මනාප තරඟයෙන් මුල් තැනට පැමිණි අතීත අත්දැකීම් ගැන සිහි වෙත්දී මොවුන්ටද එම අභියෝගයෙන් ජය ගැනීම අපහසු නොවිය හැක . එබැවින් ඒ බව දන්නා බලධාරීන් කළ  යුත්තේ ඔවුන්ට මැතිවරණවලට ඉදිරිපත්වීමට ඇති අවස්ථාව මග හැරවීම මිස ඔවුන් පරාජය නොකළේ මන්දැයි ජනතාව පිට වරද පැටවීමට බලා සිටීම නොවේ .  ලැයිතුවේ හතරෙන් තුනක් පුත්‍ර සමාගමට , ඥාති සමාගමට සින්නක්කර ලියා දී ඉතිරිය මේ පුවක් බඩ වන් නාටිකාංගනාවන්ගෙන් පිරවූ කළ  චන්දයක්  දීමට ඉතිරි වන්නේ කවුද?

මේ මොහොතේ  ශ්‍රීලනිප ට උරුම මතවාද දරන විදග්ධ චරිත සොයා යෑම සහ ඔවුන්  පෙරට ගැනීම ගැනීමට එම පක්ෂයේ බලධාරීන් කටයුතු කළ යුතු බව අවබෝධ කර ගැනීමට ශ්‍රීලනිප මුල් පුටු හොබවන්නන් අමතක කරන්නේ නම් මහින්ද රාජපක්ෂ පාලනය අවසන් වූ දිනක ඒ ගැන පසු තැවීමට සිදු වනු වැලැක්විය නොහැක . එබැවින් අද දවසේ කළ යුත්තේ
කැමරාව ඉදිරියේ ඇඟ පෙන්වා ප්‍රසිද්ධිටයට පත් අලජ්ජ වුන් කරට ගැනීම වෙනුවට එදා 71 සිරිමාවෝ මැතිණිය කළාක් මෙන් හරයෙන් රටට දැයට හිතැති ශ්‍රීලනිප මතවාදයට කැපවෙන ධර්මදාසලාට , ගුණපාලලාට අවස්ථාව දීමය . එමගින් අනාගතයට රටට දැයට හිතවත් නායකත්වයක් බිහිකරගැනීමට අවස්ථාව උදා කර දීමය .

අවාසනාවට බලධාරීන් තමාගේ යුතුකම සරලව සලකා නොසලකා හැරියත් සියලු  සබුද්ධික ජනයා වෙත අත් හල නොහැකි වගකීමක් තිබේ . එනම් කුමන අන්දමේ රැලි ගස්සවා පෙන්නුවත් ඒවායින් දෑස් නිලංකාර කර නොගෙන මෙවැනි නාටකාංගනාවියන් පමණක් නොව සියලු හොරුන් තක්කඩියන් තම ඡන්ද කාඩ්පතින් පළවා හැරීමය . ඒ වෙනුවට යම් කිසි ප්‍රමාණයකින් හෝ ජාතිකත්වයට ලැදි ඒ වෙනුවෙන් පෙනී සිටින්නන්ගේ ජයග්‍රහණය තහවුරු කිරීමය . ඒ හරහා හෝ තමන්ට කළ හැකි නමුත් එය අමතක කර මෙවැනි අමන තීරණ ගන්නා බලධාරීන්ට මතක හිටින පාඩමක් ඉගැන්වීමය . ඉල්ලුමට සරිලන සැපයුම යැයි කියා කුණු ගොඩවල් කරේ ගැසිමට තනන මේ කෛරාටිකයන්ගේ උත්සාහය යම් තරම්කට හෝ ආපසු හැරවිය හැක්කේ එමගින් පමණි .

එසේ නොවුවහොත් එදා 77 ජේ ආර්  සමාජ සංයමය බිඳ දැමූ වටපිටාව හරහා කුඩු කාරයන් - බුකි කරුවන් - ජාවාරම්කරුවන් අපගේ කාලයේ අපේ පාලකයන් වූවා සේම  අද ගන්නා මේ අමන තීරණය හේතුවෙන් අනාගතයේ අපගේ දුවා දරුවන් නළඟනන් - වෙසඟනන් යටතේ පාලනය වීම වැලැක්විය හැක්කක් නොවේ .

මේ පාඩම කොසොල් රජුට පමණක්ම නොවේ .

බුද්ධ කාලීන කොසොල් රාජ්‍යයේ රජකම් කළ පසේනදි කොසොල් රජතුමා දුටු සිහින 16  න් එකක සඳහන් මේ අනාගත වැකියෙන් අපි මේ සටහන සමාප්ත කරමු .

එනම් කොසොල් රජතුමා දුටු සිහිනෙක දුටුවේ ගැළ නොබදින ලද තරබාරු ශක්තිමත් ගොනුන් රැලක් පැටවුන් මතට බර පටවා ඇදගෙන යාමට සලස්වති .  එම බර ඇද යාමට නොහැකි වූ පැටවුන් නිසලව සිටිති . 

එහි අර්ථය බුදුන් වහන්සේ පහදා දුන්නේ මෙසේය . "මහරජතුමනි, මෙම සිහිනයේ ප්‍රතිඵලය අනාගතයේදී ලැබෙන්නේය .  අනාගතයේ දී රජවරු අධමිටු වූ කල්හි එම රජුන් විසින් රාජ්‍ය පාලන කටයුතු වල නියැලී සිටින බුද්ධිමතුන් නොසලකා හරිති .  රාජ්‍ය කටයුතු, කර්මාන්ත කටයුතු කිරීමේ පළපුරුද්ද ඇති ඇත්තන් නොසලකා හැර අදක්ෂයින් තනතුරුවලට පත් කරති .  මෙම අදක්ෂයින් තනතුරු වලට පත් වීම නිසා රාජකාරී කටයුතු අඩාල වී රට පිරිහෙන බව මෙම සිව්වන සිහිනයෙන් කියවෙන බව දතයුත්තේය . "
අඳෝමැයි . එදා බුදුන් දුටු අනාගතය අපේ ඇස් පනාපිටම සැබෑවක් වීම ආශ්චර්‍යයක් නොවන්නේද? 

-කැලුම් නිරංජන
යුතුකම සංවාද කවය
www.yuthukama.com

5 comments:

  1. Email එකෙන් ආපු කවියක්January 29, 2014 at 11:47 PM

    අනේ සුමනක්කේ...

    ගයේෂත් එන්නේ...
    නදීෂා කලියෙන්ම බැස්සේ...
    ඔබ මොකද නැත්තේ...
    ඔබත් ආවොත් වැඩක් වෙන්නේ...

    ගයේෂට හැකිනම්..
    නදීෂත් ඉල්ලයිනම්..
    සුමනක්කා ආවොත්...
    අපිත් අක්කට ඡන්දෙ දෙන්නම්...

    හිරුනිකා දෝණී...
    දැක්කත් සතුට දේවි..
    අනර්කලී බට්ටි..
    ඇඹරි ඇඹරි ඔමරි පාවී...

    ඉඟුරු සුදු අක්කා..
    කොලොන්නාවට බැස්සා...
    මංගලා අක්කා
    පවා සටනට මෙන්න බැස්සා...

    මහ ඇමති වෙන්ටා
    සාරිය කරට උස්සා..
    මෙන්න දැන් එනවා...
    අපේ ගීතක්කා...

    පකිස් පෙට්ටිය වාගේ..
    බබලන නාරි රූපේ..
    ජීවන්ගේ දෝණී..
    පවා ඉල්ලයි අපේ ඡන්දේ..

    සුදු සුමන අක්කේ..
    ඔබ පමණී නැත්තේ...
    ඔබත් ආවෝතින්..
    පමණි අපහට නින්ද යන්නේ...

    ඇමරිකා සල්ලි..
    තවත් මොකටද අක්කී..
    එන්න තව නොරැඳී...
    අක්කා ජනපති කරමි කැපවී...

    ReplyDelete
  2. සමන්ත අතුකෝරළJanuary 30, 2014 at 1:46 AM

    කොසොල් රජතුමාට නම් සිහිනවල තේරුම තේරෙන්න ඇති.
    ඒත් අපේ රජතුමාට නම් තේරෙන එකක් නෑ..

    ReplyDelete
  3. මේ හෙළු නිළියොන්ට ඉල්ලුමක් තියෙනව.
    ඒ වෙන මොකකටවත් නෙවෙයි. හෙළුවට.

    මුන් පාලකයො කරගන්නව කියල කියන්නේ කක්කුස්සි මදින බුරුසුවෙන් දත් මදිනව වගේ වැඩක්.
    බුරුසුවක් උනාට හැම එකෙන්ම දත් මදින්නේ නෑනේ අපි.

    - Tharanga Madushanka

    ReplyDelete
  4. ප්‍රශ්න අහන්නා...January 31, 2014 at 12:08 AM

    මට පොඩි ප්‍රශ්නයක් තියෙනව අහන්න
    දන්න කෙනෙක් උත්තරයක් දෙනවද?

    මට ඇහුන පහු ගිය ටිකේම කිහොප දෙනෙක්ම කිව්වා කොළඹ ඉන්නේ අන්තර්ජාලය,නූතන මාධ්‍ය ඇසුරු කරන දැනුවත් ජනතාව කියල.

    ලාල් කාන්ත මහත්තයත් ඔය කතාව කියනව ඇහුනා..
    ඇයි තින් එහෙම නම් ඒ දැනුවත් ජනතාවට චන්දෙ දෙන්න මේ වගේ නොදැනුවත් උන් දාන්නේ?

    කොළඹ උන් දැනුවත් කියල කියන එක නිවරදිද?

    ReplyDelete
    Replies
    1. සුදු පුතාJanuary 31, 2014 at 3:29 AM

      මට නම් හිතෙන්නේ ඔඅය අන්තර්ජාලයේ ගොසිප්, ෆේස්බුක් බැලුවට මොලේ පෑදෙන්නේ නෑ. තව තව අං එනවා මිසක. අන්ත්‍ර්ජාලයේ අදාළ දේ බැලුවොත් දැනුවත් වෙන්න පුළුවන් තමා. නමුත් මේ අය ගොසිප් බල බලා කුණූ රසම හොයන ගොන් රැළක් නේද? මේ වගේ හොඳ සයිට් එකක් කියවන්නේ කීයෙන් කී දෙනාද? බොහෝ අය ගොසිප් බුවාලා තමා.

      Delete