Breaking News

ප්‍රභාකරන් හා විග්නේශ්වරන්








ඊළාම් සටනේ මීළඟ පරිච්ඡේදය ආරම්භ වීමට නියමිතව ඇත. උතුරු පළාත් සභා මැතිවරණය එහි සමාරම්භක උළෙල සනිටුහන් කරනු ඇත. මේ සටනට ජොනී බට්ටන් , මිනිස් බෝම්බ හෝ බස් බෝම්බ යොදා නොගැනෙනු ඇත. මේ සටන් පරිච්ඡේදය තුළ ලේ නොසැලෙනු ඇත. ඒ වෙනුවට අළුත්කඩේ උසාවිය, එක්සත් ජාතීන්ගේ සංවිධානය, ජිනීවා මානව හිමිකම් කවුන්සිලය, රාජ්‍යය නොවන සංවිධාන, විදෙස් බලපෑම් ආදිය මෙවලම් වනු ඇත. ප්‍රභාකරන් වෙනුවට විග්නේශ්වරන් අපට මුණ ගැසෙනු ඇත. මේ පරිච්ඡේදයේ ප්‍රතිපලය විසින් ඊළඟ පරිච්ඡේදයේ ස්වරූපය තීරණය කෙරෙනු ඇත.

අපගේ සමාජය ඉතා අඩුවෙන් තේරුම් ගත් කාරණයක් වන්නේ අප පසු කර ආ පරිච්ඡේද කිහිපය තුළ අපට මුණ ගැසුනු ප්‍රභාකරන් වැන්නන් අපගේ ප්‍රධාන සතුරාගේ ඉත්තන් විනා ප්‍රධාන සතුරා නොවන බවයි. අප පරාජය කළේ සතුරාගේ ඉත්තා මිස ප්‍රධාන සතුරා නොවේ. ඉත්තාගේ පරාජය, ඉත්තාගේ අයිතිකරුවන් ලද තාවකාලික පරාජයක් පමණි. මෙම හතුරා එකවර මේ යැයි පෙන්වාදීම පහසු නැත. අපට වැටහෙන ආකාරයට මෙම සතුරා ඉන්දියාව, ඇමරිකාව, හා බටහිටර සුසංයෝගයකි. ඒ අය අතරේද වෙන වෙන න්‍යායපත්‍ර ඇතත්, පසුගිය පරිච්ඡේදය තුළ මෙන්ම එලැබෙන පරිච්ඡේදය තුළ ද ඔවුනට ඇත්තේ මෙරට හැකිතාක් අස්ථාවර කිරීමේ පොදු න්‍යායපත්‍රයයි. ඔවුනට එසේ උවමනා වන්නේ මන්ද යන කාරණය අපි වෙනත් ලිපියකින් සාකච්ඡා කරමු.

ප්‍රභාකරන් නම් ඉත්තා පරාජය කළ අපි කිරිබත් ගිලදමා සතුටු වීමු.ඉන් ඉදිරීයට සතුරාට ඇති ඉඩකඩ ඇහිරීමට අපි කටයුතු නොකළෙමු. සතුරා දැන් අපට විග්නේශ්වරන් නමැති ඉත්තා ඉදිරිපත් කර ඇත. දෙමළ සන්ධානය නි‍යෝජනය කරන්නේ ප්‍රභාකරන් ගේ තුවක්කු බටය උගුරු දණ්ඩ තුළ සිර කරගෙන දේශපාලනයෙහි ඉතා අවදානම් ලෙස නිරත වූවන්ය. නමුත් ඉතා පැහැදිළි ලෙස ජය ලබන්නට නියමිත උතුරු පළාත් සභා මැතිවරණයේ මුල් අසුන දේශපාලනයෙහි නොනියලුණු පුද්ගලයෙකු වෙත දන් දීමට තරම් දෙමළ සන්ධාන සාමාජිකයින් පරිත්‍යාගශීලී වී තිබේ යයි සිතීම උගහටය. අප කළින් සඳහන් කළ සතුරාගේ ඉත්තකු වන දෙමළ සන්ධානයට කළ හැක්කේ එම සතුරා එනම් තම ස්වාමිවරුන් කියන්නක් කිරීම පමණි. ප්‍රභාකරන් සිටි අවදියේ ඔවුනට කළ හැකි වූ එකම දෙය ප්‍රභාකරන්ගේ තාලයට පාද තැබීම පමණි. දැන් ඔවුන් අපගේ සතුරාගේ සෘජු ග්‍රහණයට හසුව ඇත. විග්නේශ්වරන් යනු එම සරතුරාට අවැසි මීළඟ ඉත්තාය. ප්‍රභාකරන්ගේ අනුප්‍රාප්තික ඉත්තාය.
ප්‍රභාකරන් නමැති ඉත්තා දශක තුනක් පුරාවට ඔහුට පැවරී තිබුන කටයුත්ත ඉටු කරමින් සිටියේය. ඉත්තකු වුවත්, ඔහු තමා ඉත්තකු වනවාට අකමැති විය. ඔහුට අවැසි වූයේ දෙමළ ජනතාවගේ එකම විමුක්තිදායකයාණන් වශයෙන් පෙනී සිටීමටය. දහතුන්වන ව්යවස්ථා සංශෝධනය බෙදුම්වාදයට හිතකර නම් ප්‍රභාකරන් එයට විරුද්ධ වුයේ මන්දැයි අසන්නන්ට නොවැටහී ඇත්තේ මෙම සන්දර්භයයි. ප්‍රභාකරන් හපනෙකු වන්නේ මිනී මැරීමට විනා දේශපාලනයට නොවේ. සතුරා විසින් දේශපාලන වශයෙන් රට අස්ථාවර කරවන විටදී තමා පැත්තකට විසි වී ඇන්ටම් බාලසිංහම් හෝ එවැනි කෙරුමෙකු මතු වන බව ප්‍රභාකරන් ඉතා නිවැරදිව අවබෝධ කර ගෙන සිටි‍යේය. ඒ නිසා ඔහු දහතුනට විරුද්ධ වූවා පමණක් නොව, සෑම සාකච්ඡා මේසයකින්ම පලා ගොස් වන වැදී බෝමබ ගැසීමට උත්සුක විය. අප දේශපාලන වශයෙන් පසු ගිය පර්ච්ඡේදයේදී බේරී සිටියේ අප සතු විශේෂ හැකියාවක් නිසා නොව ප්‍රභාකරන් ගේ මෙම මමායනය විසින් සතුරාගේ දේශපාලන උඟුල් වලින් අප බේරා ගනු ලැබීම නිසාය. ඉතිහාසය පුරා බොහෝ විට අප සටනට දක්ෂ බවත් දේශපාලනයේ අදක්ෂ බවත් පෙන්වාදිය හැකිය. පරංගින්ට ගෙරි හමක ඉඩක ඉන්නට දීම, පසුව ඉඟුරු දී මිරිස් ගැනීම, උඩරට ගිවිසුම, ඉන්දු ලංකා ගිවිසුම, රනිල්-ප්‍රභා ගිවිසුම මීට උදාහරණ කීපයකි. ප්‍රභාකරන්ට වුව වසර තිහක් සෙල්ලම් දමා ගෙන සිටිය හැකිවූයේ අප සටනට අදක්ෂ නිසා නොව, ඒ හා බැඳුනු දේශපාලනයේ අප අදක්ෂ වූ නිසාවෙනි.

ප්‍රභාකරන් සහ විග්නේශ්වරන් එකම සතුරාගේ ඉත්තන් බැවින් ඒ අතින් ඔවුහූ සමාන වෙති. ජාතිවාදී අදහස් අතින්ද එකකු අනිකකුට දෙවැනි නැත. නමුත් විග්නේශ්වරන් ඉදිරිපත් වන්නේම ඉත්තකු ලෙසිනි. ඔහු තුළ ප්‍රභාකරන් තුළ වූවා මෙන් ඉත්තකු නොවීමට හැකියාවක් හෝ අකමැත්තක් හෝ නොමැත. අකමැති නම් ඔහුට කළ හැකි එකම දෙය දේශපාලනයට නොපිවිස සිටීම පමණි.

ප්‍රභාකරන් සිටින අවදියේද සතුරාට දෙආකාරයකට අපව මට්ටු කිරීමට වුවමනා වී තිබුනි. පළමු වැන්න ප්‍රභාකරන්ගේ ත්‍රත්‍රස්තවාදයෙන් අප බියෙන් බිරාන්ත කිරීමයි. දෙවැන්න බියව සිටින අප දේශපාලන විසඳුමකට දක්කා ගෙන යාමයි. අප මේ අරබයා කෙතරම් අවිචාරවත් ලෙස කටයුතු කර ඇතිදැයි කියනවා නම් විසඳුම් දෙන්නට යන ප්‍රශ්නය කුමක්දැයි දන්නා එකෙකු නැත. ප්‍රශ්නය කුමක්දැයි කතා නොකර විසඳුම කුමක්දැයි කතා කළහ. අදටත් අප වෙතින් එම අවිචාරවත් බව එලෙසම නොගිලිහී ඇත. ඒ කෙසේ වෙතත් ඉහත පළමු වැන්න ප්‍රභාකරන් ඉතා හොඳින් ඉටු කළ අතර දෙවැන්න ඔහු විසින් සෑම විටකදිම සුණු විසුණු කර දැමීය.

අදත් මෙම දෙආකාරයම වෙනත් මුහුණුවරින් ක්‍රියාත්මකය. බිය වැද්දවීම් සදහා මානව හිමිකම කවුන්සිලය, අන්තර් ජාතික යුද අධිකරණ මෙන්ම ආර්ථික සම්බාධක යොදා ගැනීමට හැකිය. දේශපාලන ක්‍රියාවලිය සඳහා මෙතෙක් පැවති ප්‍රධාන බාධකය වූ ප්‍රභාකරන් අප විසින්ම ඉවත් කර දී තිබේ. මේ දෙආකාරයට අමතරව අප අද තුන්වන ක්‍රමයකටත් හසු කරගෙන තිබේ. එනම් බටහිර හා ගැටගැසුණු සිහින අපට පෙන්වා ඒවා හඹා යාමට අප හුරු කරවීමයි. මේ තීරණාත්මක මොහොතේ පොදු රාජ්ය මණඩල සමුළුවක් මෙහි පැවැත්වීමට සළස්වා එය සාර්ථක කර ගැනුමට අවැසි නිසා සතුරාට දැඩි කේවල් කිරීමේ බලයක් හිමි කර දී ඇත.

දේශපාලනයේදී ප්‍රභාකරන් සමඟ සතුරාට තිබූ ආරවුල විග්නේශ්වරන් සමඟ කෙසේවත් ඇති වන්නේ නැත. ඔහු හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකි. ඔහු නීතිය මැනවින් දනියි. නීතිමය දැනුම යනු එළබෙන පරිච්ඡේදය තුළ ඔවුනට නැතුවම බැරි බර අවියකි. දහතුන් වන ව්යවස්ථා සංශෝධනයේ ඇති අපැහැදිළි තැන් උපයෝගී කර ගෙන මධ්යම ආණ්ඩුව සමඟ ගැටුම් ඇතිකර ගැනීමට අවැසි අවබෝධය ඔහු සතුය. ජාතිකව හා අන්තර්ජාතිකව නිර්මාණය වන වටපිටාවන් අනුව ඒ නොයෙක් ආකාරයේ අර්බුදයන් ඇතිකර ගැනීමට සුදුසු කාල වකවානු ඔහුව නටවන සතුරා විසින් තීරණය කෙරෙනු ඇත. ඔහු මෝඩ වරධරාජා පෙරුමාල් කෙනෙකු නොව සූක්ෂම කපටි ඇන්ටම් බාලසිංහම් කෙනෙකු වනු ඇති බවට මෙම සතුරා වගබලා ගන්නවා ඇත. ඇන්ටන් බාලසිංහම් කොටි නායකයා වී ඔහු යට්තේ, ඔහුට කීකරුව පවතින සන්නද්ධ අංශයක පමණක් ප්‍රභාකරන් නායකයා වී නම් මෙරට දෙකඩ වී බොහෝ කල් වන්නට තිබින.

ප්‍රභාකරන්ට මුහුණ දීමට රට වෙනුවෙන් දිවි පුදන්නට අවංක මිනිසුන් මේ රටේ ගම්බිම් වලින් ඉදිරිපත් විය.ප්‍රභාකරන් පැරදවීමට එම උත්තර කැපවීමට සහ ඔවුන්ගේ එඩිතරභාවය හැකි වුවත් විග්නේශ්වරන්ලා පැරදවීමට සිදුවන්නේ ඊට වෙනස් පිටියකදීය. අප හමුවේ මීළඟ පරිච්ඡේදයේදි ඇති ප්‍රධාන අභියෝගය නම් මෙම දේශපාලන අභියෝගයට මුහුණ දීමට සරිලන ඒ අභියෝගය කල් ඇතිව තේරුම් ගත හැකි විසල් දැක්මකින් යුතුව යුධ පිටි වෙනුවට ආදේශ වන දේශපාලන හා ව්යවස්ථා පිටිවලදී දිය යටින් ගින්දර ගෙනයන්නන්  පරාජය කරමින් ඒ සඳහා අවංකව කැප විය හැකි පිරිසක් අද ඉන්නා බඩජාරී දේශපාලන-නග්නයන් අතරින් තෝරා ගැනීම වනු ඇත.

-ලසන්ත වික්‍රමසිංහ
: යුතුකම සංවාද කවය
www.yuthukama.com

6 comments:

  1. හොඳ හෙළයාJuly 24, 2013 at 8:07 PM

    "ප්‍රභාකරන්ට මුහුණ දීමට රට වෙනුවෙන් දිවි පුදන්නට අවංක මිනිසුන් මේ රටේ ගම්බිම් වලින් ඉදිරිපත් විය.ප්‍රභාකරන් පැරදවීමට එම උත්තර කැපවීමට සහ ඔවුන්ගේ එඩිතරභාවය හැකි වුවත් විග්නේශ්වරන්ලා පැරදවීමට සිදුවන්නේ ඊට වෙනස් පිටියකදීය. අප හමුවේ මීළඟ පරිච්ඡේදයේදි ඇති ප්‍රධාන අභියෝගය නම් මෙම දේශපාලන අභියෝගයට මුහුණ දීමට සරිලන ඒ අභියෝගය කල් ඇතිව තේරුම් ගත හැකි විසල් දැක්මකින් යුතු හා ඒ වෙනුවෙන් ක්‍රියාත්මක විය හැකි යුධ පිටි වෙනුවට ආදේශ වන දේශපාලන හා ව්‍යවස්ථා පිටිවල හොඳින් වැඩ පෙන්විය හැකි පිරිසක් අද ඉන්නා බඩජාරී දේශපාලන-නග්නයන් අතරින් තෝරා ගැනීම වනු ඇත."

    100% True

    ReplyDelete
  2. සිරිමල්July 24, 2013 at 11:20 PM

    ලසන්ත කියන ප්‍රශ්නය තිබුනත්, මම හිතනවා ඒ වගේ දේශපාලන කපටිකමක් තියන මිනිස්සු හිටියා සහ තාම ඉන්නවා කියලා..මේ වැඩේ ගොඩ දා ගන්න පුලුවන්...මෙ ලිපිය ලියලා තියෙන්නේ ඉන්දියන් ඩිප්ලොමැට් කෙනෙක්..මෙකෙ තියනවා අපි කොහොමද ගේම එක ගහන්නෙ කියලා සහ අපි මෙ දක්වා එක හොදට කරලා තියනවා කියන එක .දුකෙන් ලියලා තියෙන්නේ.

    http://www.atimes.com/atimes/South_Asia/KE20Df03.html

    ReplyDelete
    Replies
    1. ලසන්ත වික්‍රමසිංහJuly 25, 2013 at 12:59 AM

      ලිපියට ප්ර්තිචාර දක්වීම පිලිබඳ ස්තූති වෙමි.
      ප්රභාකරන් මිය ගොස් දින කිහිපයකට පසු පළ වූ මෙම ලිපිය මම ද ඉතා ආශ්වාදයෙන් කියෙව්වා මතකය. මේක දුකෙන් ලියන්නෙ ඉන්දියානුවන්ට ආමන්ත්රණය කරන්න. අනික මේ දුක ඔවුන්ට ඕන දේ මේ රටේ කරන්න අමාරු වීම ගැන මිසක් උන්ගේ රටේ ප්රශ්නයක් ගැන නෙමේ. මේ ලිපිය ලියපු M K Bhadrakumar අපිව හොඳින් තේරුම් ගන්නට හැකි වූ බිද්ධිමතකු බව පැහැදිළිය.
      අපි ගැන Bhadrakumar ලියන්නේ ඒක පෙන්නලා දීලා ඒකට මුහුන දෙන්න ඕන විදියක් ඔවුන්ට හිතපන් කියන්න. ඒ නිසා උන් එහෙම කියපු පලියට ඒක එතනින් ඉවර වෙන්නෙ නෑ. ප්ර්භාකරන් මිය ගියාට පස්සේ මේගොල්ලෝ අලුතෙන් හිතලා වැඩ කරන්නේ. එතනදි M K Bhadrakumar වැන්නන් විසින් සිංහලයන් ගැන පෙන්වා දී ඇති කරුණු පිළිබඳ අවබෝධයත් ඔවුන් අපට එරෙහිව ක්රියාත්මක වීමේදි යොදා ගන්නවා ඇත.

      ගොඩ දා ගත යුතුයි කියලා තමා අපිත් කියන්නෙ. හැබැයි ඒකට ඔවුන්ට වඩා හොදින් අපිට කරන්න වෙනවා. M K Bhadrakumar වගෙ නිලධාරීන් මෙරට විරළයයි සිතමි. ඉන්න අයත් තම දරු පවුල රැක බලා ගෙන රස්සාව විතරක් කරගෙන පාඩුවේ ඉන්නවා ඇති.
      M K Bhadrakumar කියන දේ ඇත්ත උනත්, ඔහු මේකෙදි අපේ දුර්වල තැන් ගැන කතා කරන්නේ නෑ. ඒවා නොකීවට අපිට වඩා හොඳට ඔවුන් දන්නවා ඇත යයි සිතමි. ඔහු අපව මදක් පමණ අතිශයෝක්යකින් වර්ණනා කර ඇති බවකුත් හිතෙනවා.

      Delete
  3. හොඳ ලිපියක් ලසන්ත.
    එක අදහසක් පලකරන්න කැමතියි.ප්‍රභාකරන් සහ විග්නේෂ්වරන් යන දෙන්නම බටහිර හා වෙනත් හතුරු බලවේගවල ඉත්තෙක් කියන කාරණය ගැන.
    ඉත්තෙක් වීම කියන කාරණයේදි මේ දෙන්නගෙ වෙනසක් තියෙනව නේද?ප්‍රභාකරන් බටහිරින් යෝජනා කරපු හෝ බිහි කරපු ඉත්තෙක් කියන එකට වඩා බිහි වෙච්ච ප්‍රභාකරන් ඔවුන් ඉත්තෙක් කරගත්ත කියන එක නේද වඩා නිවරදි?
    ඒක නිසා නේද සමහර වෙලාවට බටහිරට සහ අනෙත් බලවේගවල උවමනාවට 100% එකඟව ඔහු ක්‍රියා නොකලේ?නැත්නම් ඔබ සඳහන් කලා වගේ බාලසිංහම් ම්වැන්නේක් යටතේ ප්‍රභාකරන් යුධ නායකයෙක් ලෙස මතු වෙන්න තිබ්බ.එහෙමනම් මෙලහකට ඊලම බිහි වෙලා.

    විග්නේෂ්වරන් එහෙම නෙවෙයි .ඔහු කෙලින්ම බටහිරින් බිහි කරපු /යෝජනා කරපු /පත් කරපු ඉත්තෙක්.අන්න ඒ නිසාම ඔහු ප්‍රභාකරන්ට වටා අභියෝගයක් අපිට.මොකද ඔහු තම ස්වාමිවරුන්ගේ උවමනාව වෙනුවෙන් 100% පෙනී ඉන්න නිසා.

    ReplyDelete
    Replies
    1. ලසන්ත වික්‍රමසිංහJuly 26, 2013 at 1:03 AM

      ප්ර්භාක්ර්න් ගෙ බිහි වීමට දිගු ඉතිහාසයක් තියෙනවා කියලා හිතෙනවා. විශේෂයෙන්ම ඉංග්රීසීහු දෙමළ ජාතිවාදී අදහස් වලට පෝෂණය වෙන්න සරු පසක් බිහි කළෝය. එයට අවශ්ය පොහොර හා ජලයද සැපයීය. සරුවට වැඩුනු දෙමළ ජාතිවාදයම බටහිරයන් අප පහසුවෙන් පාලනය සඳහා ඔවුනගේ සුප්ර්කට “divide and conquer” ක්රමයට අනුව බිහි කරන ලද්දකැයි සිතමි. නලින් ද සිල්වා මහතාගේ “ප්ර්භාක්රන්- ඔහුගේ සීයලා බාප්පලා හා මස්සිනාලා” කෘතියේ දෙමළ ජාතිවාදයේ බිහිවීම හා විකසනය ගැන අගනා විස්තරයක් සඳහන්ය. බටහිරයන් විසින් වපුළ ජාතිවාදය හරහා බිහි වන දෙමළ උගතුන්ගේ ක්රියාකාරීත්වය තුළ ප්රභාකරන් කෙනෙකු බිහි වීම අනිවාර්ය වී තිබූ අතර අප සමාජය මේ ගැන ආරම්භයේදී තැකීමක් නැතිව නිද්රාශීලීව සිටින අතරේ ඉන්දියාව විසින් අවි පුහුණව ලබා දී උස් මහත් කොට ඔවුනට අවැසි ඉත්තා නිර්මාණය කර ගත්තේය. ඔවුන් ප්රභාකරන් නමැති පුද්ගලායාවම විග්නේෂ්වරන් මෙන් තෝරා නොගත් බව සත්යයක් වුවත් එවැන්නන් බිහි කරවීමට ඔවුනට උවමනාවක් තිබුනා මෙන්ම අවැසි පරිසරයද මනා ලෙස සැකසීය.
      එනිසා බිහි වීම අතින් ප්රභාකරන් හා විග්නේෂ්වරන් යන දෙදෙනාම ඉත්තන්ය. නමුත් ප්ර්භාකරන් බටහිරට හා ඉන්දියාවට අවැසි ලෙසම පාලනය කළ නොහැකි විය. විග්නේෂ්වරන්ට එසේ පාලනය වනු විනා වෙනත් විකල්පයක් නැත්තේය. එනිසා විග්නේෂවරන් හරහා සතුරාගේ බලපෑම සතුරාට අවැසි විදියටම අපට එල්ල වනු ඇත.

      Delete
  4. හොඳ ලිපියක්

    ReplyDelete