Breaking News

13 මතුවිය. නිරුවත හෙළි විය..

13 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ කතිකාවක් පැන නැගීමත් සමඟ ඒ පිළිබඳ දේශපාලන පක්ෂවල අදහස් උදහස් සෘජුවම දැක ගැනීමේ අවස්ථාවක් මේ රටේ ඡන්ද දායක ජනතාවට දැන් උදාවී ඇත. මෙතුවක් කල් පොදු ජනතා දෑස් අබියස බොඳවී පෙනුනු සිතුවමක් සේ තිබුනද දැන් එය ඉතා පැහැදිලි රේඛාවලින් සැදි සිතුවමක් ලෙස තියුණු ලෙස දැක බලාගැනීමේ මහඟු අවස්ථාවක් මෙරට පොදු ජනතාවට උදා වී ඇත. ඒ මගින් වඩාත් පැහැදිලිව පෙන්නුම් කරන්නේ අන් කිසිවක් නොව මෙරට පොදු ජනතාවට උරුම කරුමය යැයි සිතමු.

මේ කරුමය කුමක් දැයි හරිහැටි හඳුනා ගැනීමට අපි ජාතියක් ලෙස මෙතුවක් කල් අසමත් වී ඇති බව අපගේ තක්සේරුවයි. නමුත් ඒ කරුමය බොහෝ කල් ඇතිව අනගාරික ධර්මපාලතුමා වැනි  ප්‍රාඥයන් පෙන්වා දුන් බව කෘතඥ පූර්වකව සිහිපත් කළ යුතුය. ඉන් පසුව තවදුරටත් එය ව්‍යක්ත ලෙස තේරුම් ගෙන එයට මුහුණ දිය යුතු ආකාරය පිළිබඳ ගුණදාස අමරසේකර, නලින් ද සිල්වා වැන්නන් අතින්      පැහැදිලි කෙරී ඇති බව කිවමනාය.

පසුගිය දශක ගණනාවක් පුරාවටම මෙරට  සාහිත්‍යය, කලාව, දේශපාලනය මෙන්ම මුළු මහත් සමාජ දේහයම එකම කක්ෂයක් වටා දෝලනය විය. මිනිසුන් කව් ගී ලීවේ ,නවකතා කෙටිකතා ලීවේ , දේශපාලනය කළේ මෙම කක්ෂය තුළ දෝලනය වෙමින්  අප ගත යුත්තේ අප මුතුන් මිත්තන්ගෙන්      උරුම වූ හර පද්ධතියද, නැතිනම් අප විසින් බටහිර  සභ්‍යත්වය වැළදගත යුතුද යන ප්‍රධාන කාරණය අරභයාය. ඉතා සරලව කියනවා  නම් "අප දේ" හා "පර දේ" අතර සංවාදයයි. මේ රට තුළ පැන  නගින බොහෝ තීරණාත්මක අවස්ථාවන්හිදී දේශපාලන වශයෙන් මේ පිල් දෙක දෙපැත්තට වනවා පැහැදිලිව දැක බලාගත හැකිය. උදාහරණයක් ලෙස යුද්ධ කිරීමට විරුද්ධ වූ පිළම අද දහතුන්වන ‍ව්‍යවස්ථා සංශෝධනය රැකගැනීමට වෙර වෑයම් සහ උපක්‍රම යොදති. යුද්ධයෙන් ත්‍රස්තවාදය පැරදවීමට මතවාදීව ඉදිරිපත් වූවන්ම අදත් දහතුන්වන ව්‍යවස්ථා  සංශෝධනය ආපසු හැරවීම වැර වෑයම් සහ උපක්‍රම යොදති.


කවන්ධයේ උපත හා පරිණාමය..


1951  දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහි වන්නේ සුදු අදිරදුන් විසින් අපට අහිමි කළ අප උරුමය නියෝජනය කරමිනි. වසර හතරක් වැනි ඉතා සුළු කාලයකදී එම පක්ෂයට බලය ලබා දීමට මේ රටේ ජනතාව උත්සුක වෙන්නේ ඒ නිසාය. ශ්‍රීලනිපය අරභයා ගුණදාස අමරසේකරයන් ඉදිරිපත් කර ඇති උපමාව මෙහිදී අපගේ වචනයෙන් හෝ ඉදිරිපත් නොකරම බැරිය. ශ්‍රීලනිපය යන දැවැන්ත ශරීරයට එහි නායකයන් විසින් මාක්ස්වාදී බූරු හිස් මෙන්ම ලිබරල්වාදී අශ්ප හිස් සවි කිරීමට තැත් කිරීම නිසා එය හිස නැති කවන්ධයක් බවට පත්විය. එනිසා එහි ජාතිකත්වය රෙද්ද බැනියම, කැවුම් කොකිස් හා බුලත් අතට පමණක් සීමා වූවා මිස ජාතියට අවැසි ජාතික දර්ශනය සැපයීමට අසමත් විය.

චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මියගේ නමේ වාසගම් දෙකකි. ඇයව ශ්‍රීලනිපය ඔස්සේ ජනපති පදවිය දක්වා ඔසවා තැබීම සඳහා මෙරට ජනතාව සැදී පැහැදුනේ ඇගේ පළමු වාසගමට අනුව එනම් බණ්ඩරනායකවරයකු ලෙස ඇය විසින් කටයුතු කරනු ඇතැයි යන මූලික බලාපොරොත්තුව තුළය. ඇය තම නැසී ගිය ස්වාමි පුරුෂයාගේ මිනී පෙට්ටිය මත අත තබා  ඔහු  ගේ  ප්‍රතිපත්ති ඉදිරියට ගෙනයන බවට දුන් පොරොන්දුව ශ්‍රීලනිප සාමාජිකත්වය ලබා ගැනීමත් සමඟම අමතක කරන ලදැයි මෙරට ජනතාව සිතූහ. නමුත් සිදුවූයේ අනෙකකි. ඇය විසින් තවලම් යමින් පැකේජ ගෙන එමින් කොටින් සමඟ සුනාමි සහන මණ්ඩල පිහිටුවීමට තැත් කරමින් ශ්‍රීලනිප දේහය අපහරණය කරමින් ඉදිරියට ගෙන ගියේ ඇගේ සැමියාගේ දේශපාලන ප්‍රතිපත්තීන්ය. ඉන් සිදු වූයේ අර හිස නැති කවන්දයේ කශේරුකාවද බිඳ දැමීමයි. රාජිත සේනාරත්නලා අදත් නියෝජනය කරන්නේ මේ චන්ද්‍රිකා - විජය මතයයි. එනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොඳු නාරටිය බිඳ දැමූ   මතවාදයයි. චන්ද්‍රිකා  විසින් ශ්‍රීලනිපයේ කොන්ද කඩා දැමීමේ සන්දර්භය තුළ අතරමං වූ පොදු ජනතාව සිය බලාපොරොත්තු තැබුවේ ජනතා විමුක්ති පෙරමුණ වෙතයි. 

ජවිපෙ නායකයන් කොතැනක සිටියත්  ගැමි  තරුණයන් මරාගෙන මැරෙන්නට සූදානම් වූයේ “අප දේ” වෙනුවෙනි. අවාසනාවට ඒ ජවසම්පන්න දේහයට ප්‍රඥා සම්පන්න හිසක් සැපයීමට ජවිපෙ නායකත්වය අසමත් වුනි. ඒ තරුණ දේහය නොනැසී පැවතිය ද, අද ජවිපෙ යනු එම තරුණ දේහයෙන් ගැලවී ගිය නාකි මවිල් ගසක් පමණි. දේශපාලන පක්ෂයකට වඩා වෘත්තීය සමිතියකි. පාර්ලිමේන්තු තේරුම් කාරක සභාව නියෝජනය කරන්නේ දේශපාලන පක්ෂ විනා වෘත්තීය සමිති නොවන නිසා ඔවුන් තේරීම් කාරක සභාවට සහභාගී නොවීමේ තීරණය ඔවුන්ට උරුම වී ඇති වෘත්තීය සමිති  දේශපලනයේ  අනිවාර්ය කරුණක් බැවින් ඒ පිළිබඳ දොස් කීමද  පලක්  නැත. ඔවුන් මහින්ද රාජපක්ෂ මහතාට යුද සමයේදී අවංක සහයක් ලබා දුනි නම් මෙරට ජනතාව රණ විරුවන් ලඟට ඔවුනට  ගෞරව කිරීමට ඉඩ තිබුනි. දැන් ඔවුන් ජනතාවගේ දේශපාලන මතකයෙන් ගිලිහී ගිය තවත් වාමාංශික සමිතියක් පමණි.

2005 දී මහින්ද රාජපක්ෂ මහතාට ලැබුනේ කොඳු ඇට පෙළ බිඳ දැමූ කවන්ධයකි. බටහිර බලවතුන්ගේ තර්ජන හමුවේ උපායශීලී ලෙස නොසැලී කටයුතු කිරීමෙන් ත්‍රස්තවාදය පරදවා මෙරට ජනතාවට බිය සැක නැතිව හුස්ම ගන්නට අවස්ථාව  එතුමා  ප්‍රමුඛ රණ විරුවන් සලසා දුනි. එය එක් ආකාරයට, චන්ද්‍රිකා  විසින් කොඳු ඇට පෙළ කඩා බිම දමා ඔත්පල කළ කවන්ධය ශක්තිමත්ව නැවත දෙපයින් සිටුවීමක් වැන්න. නමුත් එය තවම කවන්ධයක් බව මතක තබා ගත යුත්තේ හිස සොයා ගැනීමේ කාර්ය අමතක කොට කවන්ධය නොයෙකුත් තොරම්බල් වලින් සැරසීමෙන් පලක් නොවන නිසාවෙනි.

ධර්මපාල තුමාගේ අනාගත වාක්‍යයට පණ දෙමින්..

එජාපය එහි නායකයන් කිහිප දෙනෙකු, කිහිප විටකදී  හැරුණු විට නියෝජනය කලේ “පර දේ”ය. අනගාරික ධර්මපාලතුමා පැවසූ අනාගත වාක්‍යක සඳහන් සුද්දන් රට දමා යන විට රට භාර දී යන කළු සුද්දන් දේශපාලන වශයෙන් නියෝජනය වන්නේ එජාපය මගිනි. එය තව තවත් තහවුරු කිරීම විනා එය වෙනස් කර ගැනීමට ඔවුන් තවමත් අසමත් වී ඇත. අදත් ඔවුන් කතා කරන්නේ ඉන්දියාව වෙනුවෙන් විනා ලංකාව වෙනුවෙන් නොවේ. ජේ. ආර් නම් 13  ට කැමති වූයේ ඉන්දියානු තරවටුව සහ බලහත්කාරයට බියෙනි. (13 ට එකඟ වුවහොත් ලංකාව තුළ ඔහු අවලංගු කාසියක් වනු ඇතැයි යටි හිතේ බියක් ජේ. ආර් තුළ තිබූ බව ඔහුගේ චරිතප්‍රදානයට අදහස් පලකරන ජයවර්ධන මැතිණිය පෙනවා දෙයි. එසේ නොවන බවට ජේ.ආර් ගේ සිත වෙනස් කලේ එවකට ඉන්දීය මහකොමසාරිස් ජේ.එන් ඩික්සිත් ය.) නමුත් අද එජාප නායකයින්   13  වෙනුවෙන් පෙනී සිටින්නේ ඔවුන් සැබවින්ම පරදේම විනා අප දෙයක් ගැන හාංකවිසියක්වත් නොමැති බව  ජනතාව  හමුවේ ඉතා පැහැදිළි ලෙස  විද්‍යාමාන කරවිමිනි. යුද්ධයට කුඩු කේඩු කතා කියා  ඔවුන් ජනතාවගෙන් සැළකිය යුතු ලෙස ඈත් විය. 13 වන සංශෝධනය වෙනස් කළ යුත්තේ ඉන්දියාවෙ අනුමැතිය ඇතිවයි යන මුග්ධ කතා කියමින් ඔවුහූ දේශපාලන වශයෙන් අස්ථාන ගතවීමට උත්සාහ දරමින් සිටිති. මේ  ප්‍රශ්නයේදී මෙරට ජනතාවට විරුද්ධව කටයුතු කර බෞද්ධ පොතක් ලියා ජනතාව ගොනාට ඇන්දවිය හැකි බව රනිල් මහතා සිතන බව පෙනේ. එවැනි පොත් දැමීමමෙන් හා පන්සල වල නිතර සැරිසැරීමෙන් පමණක් ජනතාව ගොනාට ඇන්දවිය නොහැකි බව එතුමාට තවමත් නොතේරී ඇති බවක් පෙනේ.

පුංචි පුංචි මාක්ස්වාදී පක්ෂ ගැන ලිවීමට මෙම ලිපියේ ඉඩ වෙන් කර ගැනීම අසීරුය. රාවුෆ් හකීම්ගේ අවශ්‍යතාවය කුමක් දැයි දැන්  ජනතාවට පැහැදිලිවී ඇතැයි සිතමි. 

දැන් අපි දයාන් ජයතිලක මහතා දෙසට හැරෙමු. ඔහුගේ තර්කය අපට  සිනහවත් කඳුලත් ගෙන දෙන්නකි. සිනහව ගෙන එන්නේ ඔහුගේ හතර බීරි තර්කය නිසාය. එනම්  "දහතුන ක්‍රියාත්මක කිරීම අහිතකර වෙන්න පුළුවන්, එය අහෝසි කිරීම ඊටත් වඩා අහිතකර වෙන්න පුළුවන් ". මෙහි අර්ථය සුපැහැදිලිය. එනම් අප තවමත් යටත් විජිතයක් ලෙස හැසිරිය යුතු බවයි. යටත් වී සිටීමට අපට අමුතුවෙන් රාජතාන්ත්‍රිකයන් අවැසි නොවේ. මේ උදවියගේ රාජකාරිය විය යුත්තේ යටත් නොවී  සිටිය හැකි ලෙස වටපිටාව සැකසීමට කළ හැකි යමක් කිරීම විනා, යටත් වන්නට යෝජනා කිරීම නොවේ. ඒ කාරිය කිරීම සඳහා එන්ජීඕ කාරයන් ඉන්නා බව අමුතුවෙන් මතක් කළ යුතු නොවේ. ඇසට කඳුළු උනන්නේ ඔය ටික අහගන්නට ඔවුන්ට පඩිනඩි මෙන්ම අධ්‍යාපනය ද ලබාදෙන මෙරට පොදු ජනතාව ගැන සිතන විටයි. පොදු ජනතාව මේ උගත්   "බුද්ධිමතුන්ට " වඩා බුද්ධිමත් නිසා අද මේ රට ප්‍රභාකරන් හෝ එවන් බටහිර රූකඩයක් විසින් පාලනය කිරීම වැළකී ඇති බව අවංකව  ස්වයං විවේචනයක   යෙදුනහොත්  මේ  මහත්වරුන්ට  වටහා  ගැනීමට  අවැසි  බුද්ධිය  ඇතැයි  අපි සිතමු.

කරුමය මඟ හැර යා හැකිද?

ඉහත අප සාකච්ඡා කළ එක් එක් කොටස් මඟින් පැහැදිලි වන්නේ අපේ කරුමය යි. මේ සියලු දෙනා ජනතා නි‍යෝජිතයින්ය. නැතිනම් ජනතා සේවකයින්ය. නමුත් ඔවුන් ස්වදේශීක ජන මතයට එරෙහිව කටයුතු කරන්නේ ජනතාවගේම මුදලිනි. ජනතාවගේම ඡන්දයෙනි. ජනතාවද පක්ෂවලට බෙදී ඔවුනොවුන් දිනවීමට කටයුතු කරනවාට වඩා පොදුවේ රට ගැන සිතා කටයුතු කිරීමට ඉදිරිපත් වීම තම යුතුකමක් කොට ගත යුතුය. 13 මතු වීම නිසා ජනතාව අබියස නිරුවත් වූ ජනතා නියෝජිතයින් ගැන බලාගැනීම ජනතා යුතුකමකි.


ලසන්ත වික්‍රමසිංහ
:යුතුකම සංවාද කවය


1 comment:

  1. සුදු පුතාJuly 3, 2013 at 4:17 PM

    රාජිත ඊළඟ ඡන්දයෙන් පරාජිත වනු ඇත.

    ReplyDelete