Breaking News

තෙමසක් ඇතුළත විසඳෙන රටේ ඉරණම


ප්‍රභාකරන්ගේ බෝම්බ පුපුරණ හඬ අද නැත. වැඩි සද්දයක් බද්දයක් නැතිව සිදුවන දෑ හඳුනාගැනුම පහසු නැත. අද සිදුවන්නේ දිය යටින් ගින්දර ගෙන යාමයි. එනිසා බොහෝ දෙනා ඉතා සරළ අර්ථකතන වලින් සිද්දීන් විස්තර කරමින් සිටිත්. නැතිනම් වෙනත් එදිනෙදා සිද්දීන්ට වැඩි අවදානයක් දෙමින් සිටිත්. නමුත් අද අප ජාතිය විශාල අභියෝගයකට මුහුණ පා ඇති බව අප වටහා නොගතහොත් ජාතියක් ලෙස අප ඉතා දුර්ධාන්ත ඉරණමකට මුහුණ පානු ඇති බව අප වැටහීමයි.

ප්‍රභාකරන් යනු බටහිටරයන් විසින් බිහි කර ඉන්දියාව විසින් කිරි පොවා උස් මහත් කළ දරුවෙකු විය. එම දරුවා විසින්ම ඔහුගේ බොහෝ බෙදුම්වාදී සහෝදරයන් විනාශ කර සම්බන්ධන්ලාද මරණ බියෙන් තැති ගන්වා තමන්ට යටත් කොට ගෙන බෙදුම්වාදයේ එකම දරුවා ලෙස පෙනී සිටි‍‍යේය. නමුත් බටහිරයන්ටත් ඉන්දියාවටත් එකා යකා විය. ප්‍රභාකරන්  වුනටද අවනත නොවීය. සැම විටම සුද්දන්ගේ සාම සාකච්ඡා ලණූව සිංහලයා ගිලින්නට ඔන්න මෙන්න තිබියදී, මේ මුරණ්ඩු දරුවා කොහේ හෝ බෝම්බයක් තබා තම දෙමාපියන්ගේ මහන්සිය ගඟට කැපූ ඉනි බවට පත් කළේය. මේ රටේ වාසනාවකට සාමය හරහා බිහිවන ඊළමකට මේ මුරණ්ඩු දරුවා බියවිය. ඒ සුද්දන් විසින් තමන් පාවිච්චි කරන්නේ සිංහලයන්ට සාම සාකච්ඡා ලණුව ගිල්ලවීම සඳහා උත්ප්‍රේරකයක් ලෙස පමණක් බව ප්‍රභාකරන් නිවැරදිව අවබෝධ කර ගෙන සිට් නිසාය. සාමය හරහා බිහිවන ඊළමේ තමා කෙරුමෙකු නොවන බව ඔහු වටහාගෙන සිටියේය.. තමා නායකයා නොවන ඊළමකින් ප්‍රභාකරන්ට පලක් නැත. ප්‍රභාකරන්ගේ මේ අකීකරු කම නිසා ලංකා රජය මගින් පහර දී හෝ ඔහුව මදක් දුර්වලකොට ප්‍රභාකරන්වත් සාම මේසයට ගෙන ඒම බටහිර අභිලාෂය විය. ගුටි කන විටදී විරාමයකට කැමති ප්‍ර්භාකරම් දකුණේ බෝම්බ තබා යුද්ධ‍යේ නිශ්පල බව සිංහලයන්ට ඒත්තු ගන්වා රජය සමඟ සාම මේසයට පැමිණියේය. ඒ සඳහා පසුබිම සකස් කරනු වස් බටහිරයන් විසින් ඔවුනගේ “විශේෂඥ” යුද දැනුම උපයෝගී කර ගෙන ගරිල්ලා නායකයකු වන ප්‍රභාකරන් කිසි දිනක යුද්ධයෙන් පැරදවිය නොහැකි බව අපට නිරතුරුව උගැන්‍වූහ. මෙරට සිටින රාජිත සේනාරත්න, ඩිලාන් පෙරේරා වැනි වත්මන් රජයේ සිටින ෆෙඩරල් වාදීන්ද එන්ජීඕ ඩොලර් නඩයද බටහිරයන් අනුකරණය කරමින් “ප්‍රභාකරන්  පරද්දන්න බෑ” යයි මොරදුන්හ. නමුත් මේ සියලු දුර්මත කීතු කීතු කරමින් ප්‍රභාකරන්  නන්දිකඩාල් කලපුවෙහි බාවන්නට අපේ වීරෝධාර රණවිරුවන් සමත් විය.


මේ පුන්චි රට තම දරුවකු විනාශ කිරීම ගැන ඇමරිකාව බොහෝ සේ කිපුනි. බටහිර බස් නොඅසා එම සටනට දේශපාලන නායකත්වය දුන් මහින්ද රාජපක්ෂ බටහිරයනට ඒකාධිපතියකු විය. අනෙක් අතට සිංහලයන් බියවැද්දවීම සඳහා තමන්ට සිටි සාම උත්ප්රේකයද දැන් නැත. ප්‍රභාකරන්  මා යටතේ තබා ගෙන සිටි අනෙක් බෙදුම්වාදී පාර්ලිමේන්තු දරුවන් සිටියද ඔවුනට සිංහලයන් බිය වැද්දවීමට හැකියාවක් නැත. එනිසා මේ බිය වැද්දවීමේ කාර්ය මෙතෙක් කල් සිටි තිරය පිටුපසින් ඉදිරියට පැමිණ තමන් විසින්ම තමන්ගේ සියලු සලු පිළි උනා දමා නිරුවතින්ම තමන්ගේම ‍යූ එන් ඕ වේදිකාව මතට නැග කිරීමට ඇමරිකාව තීරණය කළේය. තමන්ගේ නරුම උවමනා වෙනුවෙන් නිරුවත් වීම ඇමරිකානු අධිරාජ්යයාට මහ කජ්ජක් නොවේ. අධිරාජ්යයා හෙලුවෙන් සිටියද කවුරුත් “හූ” කියන්න යන්නේ නැතිවා මෙන්ම එම හෙලු ඇඳුමේ රූ වනන කවියන්ගෙන්ද අඩුවක් නැත. ජයලලිතාට මුවා වී ඉන්දියාවද සරම ගලවා විසි කළේය.

නිරුවත්වීම පාඩුවක් වුවද ප්‍රභාකරන්  විසින් කළ බියවැද්දීම තමන්ම බාරගත් විට ප්‍රභාකරන්ගේ මුරණ්ඩු ප්‍රශ්නය ඇමරිකාවට නැත. පාර්ලිමේන්තුවේ ඉන්නා බෙදුම්වාදී දරුවන් ඉතා කීකරු මෙන්ම තනිකරම බටහිර හා ඉන්දියාව මතම යැපෙයි. එනිසා පෙර මෙන් කල් යන්නේ නැත. කඩාකප්පල් කිරීමට තමන්ගේ තැන පිළිබද බියකින් පසුවන ප්‍රබාකරම් අද නැත. කරන දෙයක් වහ වහා කළ හැකිය. සැප්තැම්බර‍යේ උතුරු පළාත් සභාව යළි පදිංචි කිරීම් අවසන් නොකරම බෙදුම්වාදීන් අතට පත්කිරීමට එකඟ වීම මෙහි ප්‍රතිපලයකි.


යුද්ධයෙන් පසු මෙරට ජනතාව මේ රජයට තුනෙන් දෙකකට ආසන්න බලයක් ලබා දුන්නේ මේ රටට හිතකර හා අවැසි ව්‍යවස්ථාවක් සකසා ගනු පිණිසයි. එහි ඇති දුබලතා අකා මකා දමා ඒකීය රටකට නැවත තර්ජනයක් ඇති නොවන ලෙස රජිව් ගාන්ධි විසින් ජේ ආර්ට තරවටු කර බියවද්දා අපේ ව්යවස්ථාවට ඇතුල් කළ 13 ගලවා දැමීමටයි. එක්සත් ජනතා නිදහස් සන්ධානයද එයට අනුකූලව මහජනයා ඉදිරි‍යේ හැසිරෙමින් ඡන්දය ඉල්ලා සිටි බව මහජනයාට අමතක වී නැති බව රට කරවන්නන් මතක තබා ගත යුතුය. 13 වන ව්යවස්ථා සංශෝධනය නමැති නියමිත කාලය පැමිණි විට පිපිරවීම සඳහා ඉන්දියාව විසින් බලහත්කාරයෙන් අප  ව්‍යවස්ථාව  තුළ අටවා තැබූ කාල බෝම්බය පිපිරීමට කාලය ලංව ඇත. එය නිෂ්ක්‍රිය කර රට සුරක්ෂිත කිරීම සඳහා දෙවන වර ජනතා වරම ලද රජය ලව්වා එම ජනතා අභිලාශයන් පසෙකින් තබා කටයුතු කරවා ගැනුමට ඇමරිකාව සමත් වී තිබේ. අවාසනාවකට මෙන් මේවා මතක් කර දීමට ජනතා දේශපාලන‍යේ නියැලෙන විපක්ෂයක් වෙනුවට අපට ඇත්තේ බටහිර තානාපති කාර්යාල සමඟ දේශපාලනය කරන විපක්ෂයකුයි.


ඇමරිකාවට හා බටහිරයන්ට යම් රටක නායකයකු ඒකාධිපතියකු වන්නේ ඔවුන්ගේ සිතැගි පරිදි එම රටේ නායකයා කටයුතු නොකරන්නේ නම්ය. මෙරට පොදු ජනයාගේ අභිලාශයන්ට අනුව යමින් කොටි ත්‍රස්තවාදය මුලිනුපුටා දැමූ මහින්ද රාජපක්ෂ ඔවුනට ඒකාධිපතියෙකි. ඒ ත්‍රස්තවාදය නමැති තමන්ගේ දරුවා නැති කළ බැවිනි. පාර්ලිමේන්තුවටත් හොරෙන් ප්‍රභාකරන් සමඟ ගිවිසුම් ගැසූ රනිල් මහතා කිසිදිනක ඒකාධිපතියකු ලෙස පෙනෙන්නේ නැත. ඒ මහතා තමන් සිතැගි ඉටු කරන්නේ නම් ඒකාධිපතියකු වනු කෙලෙස?


දැන් උතුරු පළාත් සභාව සැප්තැම්බරයේ සිට බෙදුම් වාදීන් අතට පත් වනු ඇත. මේවා කඩාකප්පල් කර දැමීමට ප්‍රබාකරම් අද නැත. බටහිර බලපෑමට යටව මේ අන්තරාය සිදු වන්නට ඉඩහැර බලා සිටියහොත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මෙරට පොදු ජනතා වරම කුණු කූඩයට විසි කළ ඒකාධිපතියකු  වනු ඇත. එසේ සිදු වුවහොත් ප්‍රබාකරම්ගේ අවි ත්‍රස්තවාදය පැරද වූ අපි සම්බන්ධන්ලාගේ දේශපාලන ත්‍රස්තවාදයට පැරදී විනාශ වනු ඇත. මහින්ද රාජපක්ෂ යනු රණ විරුවන්ගේ ජීවිත පරිත්යාගයන් නිෂ්පල කළ ද්රෝහී නායකයකු ලෙස ඉතිහාසයට එක්වීම වැළැක්වීම උගහටය. විරුවන්ව සිටි අය ඇමරිකානු හස්තයට හසුව දැනුවත්ව හෝ නොදැනුවත්වම රටට ද්‍රෝහීන් වූ අවස්ථා ඉතා මෑතකදීත් අපි අත් දැක ඇත්තෙමු.


මහින්ද රාජපක්ෂ ජනපතිතුමා බහුතර ජන මතය සමඟ සිට ගනිමින් අධිරාජ්යවාදීන්ට නොබියව මේ අවස්ථාවේ ඉඩම්, පොලිස් බලතල, පලාත් සභා දෙකකට එක්වීමට ඇති හැකියාව හා පලාත් සභාවල සමගාමී ලයිස්තුවට අදාළ විෂයයක් සම්බන්ධ වන පනතක් පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීම සඳහා සියලු පළාත්සභාවල අනුමැතිය අවශ්‍යය යන ශිරාණි බණ්ඩාරනායක මැතිණිය විසින් මෑතකදී ලබා දුන් තීන්දුවත් අහෝසි කළ යුතුය. එසේ කළ මහින්ද රාජපක්ෂයන් යනු ලංකාවේ එක් යුගයක වූ එක් ප්‍රධාන ප්‍රශ්නයක් සම්පූර්ණයෙන්ම පාහේ විසඳූ නිර්භීත දූරදර්ශී නායකයකු, යුග පුරුෂයකු වනු ඇත.

තව තෙමසක් ගත වන්නට මත්තෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතුමාට අධිරාජ්යවාදීන්ට නොබියව රටත් ජාතියත් බේරාගත් යුග පුරුෂයකු හෝ අධිරාජ්යවාදීන්ට බියව රණ විරුවන්ගේ ජීවිත පාවා දුන් ඒකාධිපති ද්‍රෝහියකු හෝ විය හැක. දැන් මේ රටේ සම්පූර්ණ අනාගතය රැදී පවතින්නේ මේ මතය. මේ ගතවන නිමේෂය එතරම්ම තීරණාත්මකය.

එතුමා ද්‍රෝහියකු බවට පත් කර ගැනුමට කැස කවමින් සිටින්නේ විපක්ෂය පමණක් නොව, ආණ්ඩුව තුළම ඒ සඳහා කේවට්ටයන් නම් ඕනෑ තරම් ඇත. අනෙක් වැඩි හරිය එහෙයියන්ය. අඩුවෙන්ම ඇත්තේ එතුමා සැබෑ ජනතාවාදී නායකයකු කරවීමට තැත් දරන්නන්ය.


ලංකාව දැන් පසු වන්නෙ සංක්‍රාන්ති  සමයකයි. සංක්‍රාන්ති සමයක් යනු යුග දෙකක් අතර පවතින තීරණාමත්මක කාල පරිච්ඡේදයකි. එක යුගයක් මිය ගොසින් නව යුගයක් ඉපැදීමට පොපියමින් සිටියි. මෙම සංක්‍රාන්ති   සමය තුළ මහින්ද රාජපක්ෂයන්ගෙ ගමන් මග දෙස ඉතිහාසය නමැති විනිශ්චය කරුවා දැඩි උනන්දුවෙන් බලා සිටියි. එතුමා රටට ද්‍රෝහී නොවී, යුග පුරුෂයකු ලෙස කටයුතු කර රටත් ජාතියත් බේරාගනු දැකුම අපි කාගේත් අභිලාෂයයි. ඒ සඳහා මෙම තීරණාත්මකම නිමේෂයේ එතුමාට බල කිරීමට පෙරට පැමිණීම රණවිරුවන් දිවි පිදු අරමුණ පාවා දිය නොහැකි සියලු ජාතිමාමක මිනිසුන්ගේ අනිවාර්ය යුතුකමයි. 


-ලසන්ත වික්‍රමසිංහ- 

යුතුකම සංවාද කවය

2 comments:

  1. සුදු පුතාMay 13, 2013 at 8:55 PM

    මහින්ද රාජපක්ෂ ජනපති ගැන සිංහලයන් ගැන ඇති විශ්වාසය එතුමා විසින් බිද ඩැමුවොත් එය රාජපක්ෂලාගේත් පල්ලම් බැස්ම වනු ඇත. අනෙක් අතට මිනිසුන් එතුමා තුළ තබා ඇති විශ්වාසයද මෙහිදී අහිත්කර වීමට ඉඩ ඇත්තේ එතුමා වැරදි මාවතේ බොහෝ දුරක් යන තෙක්ම බොහෝ අය නිහඩව සිටීමට ඉඩ ඇති බැවිනි.

    ReplyDelete
  2. වේ. ප්‍රබාකරන්May 15, 2013 at 1:03 AM

    උඹලා වගේ උන් තව දහ-පහළොස්දාහක් හිටියනම් මම තාම ජීවතුන් අතර...අයියෝ අපරාදේ>>

    ReplyDelete