Breaking News

තණ්හා, රතී, රඟා: සර්පයා දුටුවාද?

සැවැත් නුවර ගොවිතැනින් දිවි ගෙවන අහිංසක ගොවියකුගේ කුඹරක් අසළින් වඩින බුදු රජාණන් වහන්සේ එහි වැටී තිබුනු මසුරන් පොදියක් දුටු සේක. තථාගතයන් වහන්සේ නියර උඩින් වඩින ගමන් ආනන්ද හාමුදුරුවන්ගෙන් “ආනන්ද, සර්පයා දුටුවාද?” කියා විමසූ සේක. වටපිට බලන ආනන්ද හාමුදුරුවෝ තරමක් ඈතින් කිසියම් පොදියක් වැටී ඇති බව දුටුහ. "සර්පයා දුටිමි" කියා ආනන්ද තෙරුණුවෝ පිළිතුරු දුන්හ.

බුද්ධ කාලයේ එම කතා පුවතෙහි තේමාව ඔස්සේ දිවෙන අපූරු අද්‍යතන සිදුවීම් පෙළකි තණ්හා, රති, රඟා චිත්‍රපටය ඇසුරේ අප දුටුවේ. කිසියම් කතාවක් නිරූපණයේදි තේමාව මෙන්ම සංකල්ප රූපද වැදගත් වේ. සංකල්ප රූප යනු නිර්මාණය තුළ එන චරිත, සිද්ධි හා වස්තූන් වේ. යම් නිර්මාණයක සංකල්ප රූප යට ගොස් තේමාව ඕනෑවට වඩා ඉස්මතු වී පෙනෙන්නේ නම් එය බොහෝ විට උපදේශන ක්‍රියාවලියක ස්වරූපයක් ගනියි. තේමාව දුබල වී සංකල්ප රූප ඕනාවට වඩා ඉස්මතු වූ කල්හි එය නිසරු ඕපාදූපයකට ළංවේ. සාර්ථක නිර්මාණයකට අත්‍යවශ්‍ය කාරණයකි තේමාව හා සංකල්ප රූප අතර සමබරතාවය. තණ්හා, රතී රඟා චිත්‍රපටය තුළ අප දකින සුවිශේෂීම ලක්ෂණය නම් කතාවේ තේමාව හා සංකල්ප රූප අතර සමබරතාවයයි. ප්‍රේක්ෂකයා ඉදිරියේ දිගහරින චරිත සහ සිද්ධි ඔස්සේ යථාර්තවාදීව මිනිස් චිත්ත සන්තානය පිළිබඳ ප්‍රබල තේමාවක් ගොඩනැඟීමට චිත්‍රපටය සමත් වී ඇත. මෙම චිත්‍රපටයේ වටනාකම තවත් ත්‍රීවුර වන්නේ මිනිස් සිත නිරූපණය කිරීමට නිපදවූ අනෙක් 'කර්ම' වැනි චිත්‍රපටයක දක්නට ලැබෙන ඒ තුළට බලෙන් එබ්බවූ ප්‍රේක්ෂකයා රවටවන ආකාරයේ කටෝර විජ්ජා වලින් තොරව ප්‍රේක්ෂකයා හා සුහද වෙමින් මෙම චිත්‍රපටය මතුපිටින් සරල ලෙස ගලා යාමට සළස්වන්නට සමත්වීම නිසාය. එහෙත් මතුපිටින් පෙනෙන සරල බවට යටින් දිවෙන ඉතා සංකීර්ණ චෛතසික විවරණයක් මෙහි අන්තර්ගතය.

මෙම ලිපියේ අරමුණ චිත්‍රපටයේ නම විසින්ද අපට ආරාධනා කර සිටින එකී  චෛතසික විවරණය දෙසට අපගේ විමසුම් සිත යොමු කරවීමයි. මේ චිත්‍රපටය පිළිබඳ සිය දේශපාලන දෘෂ්ටිය මත පිහිටා විචාරයක් සපයන ආචාර්ය ලියන්ගේ අමරකීර්ති හා ඉන්දියාවේ ප්‍රසාද් සිනමා පාසලෙහි මාධ්‍ය සහ අධ්‍යක්ෂකවරුන් පුහුණු කිරීමේ ආචාර්ය උමා වන්ගාල් ද මෙහි එන සංකීර්ණම චරිතය වන සිරිතුංගගේ චරිතය කියවා තිබුනේ ඉතා සරල, සදොස් ආකාරයකට වීම විසින් මෙ ආකාර විවරණයෙක වැදගත්කම මතුකරවයි.

ප්‍රභාකරන් මිය යාමේ සිද්ධියත් සමඟිනි කතාව ඇරඹෙන්නේ. ප්‍රධාන චරිත වන විමල්, සිරිතුංග හා සුරාජ් සිංහ ධජ ඔසවමින් ප්‍රීතිවන මිනිසුන්ට කිරිබත් දන්සල් දෙමින් ඒ යුධ ජයග්‍රහණයත් සමඟ සිය ජීවිත කාලයෙන් වසර තිහක් පුරාම අරක් ගෙනඋන් ත්‍රස්තවාදී යක්ෂයාගෙන් නිදහස් වීමෙන් ලත් අහිංසක ප්‍රීතිය භුක්ති විදිමින් සිටිති. හදවතේ නැගුණු නිදහසේ ප්‍රහර්ෂයට A-9 මාර්ගය ඔස්සේ විමලෙගේ වාහනයේ රෝද තුන ඔස්සේ ගලා යන්නට ඉඩ හරිමින් යාපනය බලා යන විනෝද චාරිකාවකි තිදෙනාගේ මීළඟ ක්‍රියාව වූයේ.

චලෙයි මුහුදු වෙරළේ සිය නව පෙම්වතිය හා දුරකතන ඇමතුමක සිටින අතරතුර පා ඇඟිල්ලෙන් බිම හාරන විමලෙට ඔවුනගේ අද්‍යතන කතාවේ සර්පයා වන පිස්තෝලය අහම්බෙන් මෙන් හමුවේ.

එම පිස්තෝලය පිළිබඳ තිදෙනා විසින් දක්වන්නේ තුන් ආකාර වූ ආකල්පයකි. එම ආකල්පයන් හා ඔවුනගේ ජීවන සටනේ වත්මන් තත්වය හා සම්බන්ධයක්ද දැකිය හැකිය. ත්‍රීරෝද රථ රියදුරෙකු වන විමල් වෙසෙන්නේ ප්‍රාදේශීය දේශපාලකයකු වන ඔවුනගේ බාප්පාට අයිති නිවසකය. බාප්පා එම නිවසින් දොට්ට බසින ලෙස විමලෙලාට තර්ජනය කරමින් සිටිත්. තාත්තා නැති පවුලේ වැඩිමලා වන ඔහුය තම මල්ලීගේ සහ නංගීගේ අධ්‍යාපනයට වියදම් කරනුයේ. ඔහු යෝජනා කරනුයේ අතට ලැබුනු එම පිස්තෝලය කොළඹ ගොස් විකුණා යහමින් මුදලක් ඔවුනට ලබා ගැනීමටයි.

සුරාජ් විශ්ව විද්‍යාල සිසුවෙකි. අනෙක් දෙදෙනාට වඩා තරුණෙකු වන ඔහුට විශාල පවුල් බරක් නැතිය. ඔහු යෝජනා කරන්නේ එය එම ගමනේ සිහිවටනයක් ලෙස ළඟ තබා ගත යුතු බවෙකි.

සිරිතුංග තිදරු පියෙකි. ඔහු ජීවත් වන්නේ පොහොසත් ගෙවල වැඩපළ කර දීමෙනි. තමා කිසියම් අනතුරක වැටුනොත් සිය දරු පවුල ආනාථ වන බව පවසන ඔහු එම පිස්තෝලය රැගෙන යාමට බිය වී එය රැගෙන යාම දැඩි ලෙස ප්‍රතික්ෂේප කරයි. එම අනුවණ ක්‍රියාව කිරීමට පෙළඹෙන මිතුරන් දෙදෙනට ඔහු දැඩි ලෙස දෝෂාරෝපණය කරයි. මෙම කතාව තුළ මිනිස් සිත ක්‍රියා කරන ආකාරය පිළිබඳ ඉතා සංකීර්ණ නිරූපණයක් ඇත්තේ සිරිතුංගගේ චරිතය තුළය. ඔහු අනිත් දෙදෙනාටම වඩා බියසුළුය. එනිසාම පිස්තෝලය රැගෙන යාමට ඔහු බිය වුවත් ඒ සඳහා තණ්හාවක් ඔහු සිත තුළ නූපදීද? තණ්හාව විමලේගේ හා සුරාජ්ගේ මතුපිටට පෙනෙන ලෙසට ක්‍රියාත්මක වන මුත් සිරිතුංගගේ සිත තුළ එම තණ්හාව උපදින්නේ මතුපිටට නොපෙනෙන වංචක චෛතසික ධර්මයක් ලෙසයි. නොඑසේ නම් ඔහු සිත තුළ තණ්හාව ක්‍රියාත්මක වන්නේ වෙනත් වේෂයකිනි. රාගය ක්‍රියාත්මක වන්නේ විරාගයේ වේෂයෙනි. එය ඉතා අපූරු චෛතසික ස්වභාවක් පිළිබිඹු කෙරෙන්නකි.

චිත්‍රපටය තුළ එම මානසික භාවයන් දර්ශන තලය මත ප්‍රතිනිර්මාණය කර පෙන්වන අවස්ථා කිහිපයක් දැක්විය හැකිය. සිරිතුංග මුලින්ම පිස්තෝලය  දුටු අවස්ථාවේ එය උදුරාගෙන වීසි කරයි. ඔවුන් එහිදී සිටින්නේ කැළෑබද ප්‍රදේශයකයි. සිරිතුංග මුළු වෙර යොදා පිස්තෝලය කැළෑව තුළට විසි කළා නම් එය නැවත සිය මිතුරන් දෙදෙනට සොයා ගැනීමට නොහැකි වන්නට තිබුනි. නමුත් මතු පිටින් ඔහු පෙන්වන බිය හා විරෝධය මැඩ ගෙන යටි සිතින් ක්‍රියාත්මක වන චිත්ත බලවේගයක් ඔහුට ඉඩ හරින්නේ තැනිතලා පෙදෙසක යාර කිහිපයක් දුරකට එය විසි කිරීමට පමණි.

යම් හෙයකින් පිස්තෝලය නිරුපද්‍රිතව කොළඹට ගෙන යාමට ඔවුනට හැකි වුවහොත්, සිරිතුංගගේ විරෝධතාව නිසා ඔහු එම ක්‍රියාන්විතයේ පංඟු කාරයකු බවට පත් නොවේ. එසේ වුවහොත් එම පිස්තෝලයට ඔහුට අයිතියක් නැතිවේ. ත්‍රීරෝද රථය තෙල් නොමැතිව දුෂ්කර පෙදෙසක නතර වූ විට බුලියත් රැගෙන තෙල් ගෙන ඒම සඳහා ඔහු පිටත්වන්නේ බලෙන්ම වාගේය. එසේ යාමට පිටත් වූ සිරිතුංගගේ මුවගට නැගෙන සිනහවේ රූප රාමුව තත්පර කිහිපයක එකක් වුවත් එවේලේ කැමරා කාචය සිරිතුංගගේ මුහුණට සමීප වී මදක් නතරවී සිටින්නේ ප්‍රේක්ෂකයාටද එවේලේ සිරිතුංගගේ මනසට එබී බලන්නට ඇරයුම් කරමිනි. ඔහුගේ මුහුණේ සටහන්ව තිබුනේ කපටි ප්‍රීතියක් නොවේද? ඒ ප්‍රීතිය පෙන්නුම් කරන්නේ තමාද දැන් එම පිස්තෝලය ගෙන ඒමට සම්මාදන් වූ නිසා ඒ පිස්තෝලයට හිමිකරුවකු වීමේ තෘෂ්ණාව නිසා හටගත් සතුටයි. ඉන් පසු ඔහු බලෙන්ම වාගේ ත්‍රීරෝද රථය යම් දුරක් පදවා ගෙනද එයි. එයද එම ක්‍රියාවට දායක වීමකි. ඔහු එසේ දායක වන්නේ ඔහුගේ සිතේ පවතින පූර්ණ එකඟතාවයකින් නොවන නිසා ඔහු සිය මිතුරන් දෙදෙනට දිගටම දෝෂාරෝපණය කරයි. ඔහුගේ සිතේ පවතින්නේ නීතියේ රැහැනට අසු වීමේ බියත්, පිස්තෝලයේ පංඟු අයිතිය සඳහා වන තෘෂ්ණාවත් යන දෙකම එකතු වී හටගත් චිත්ත ස්වභාවයකි. 

කොළඹට පැමිණි ඔවුන් නිවසට ගෙන යාමට යාපනයෙන් ගෙනා දෙයක් නැත. ඒ නිසා ඔවුහූ කොළඹින් පළතුරු මිලදී ගනිති. සිරිතුංග සිය යහළුවන් දෙදෙනා මිලට ගත් පලතුරු වලටද මුදල් ගෙවන්නේ යහළුකම නිසා පමණක්ම  නොව, තවත් හේතු දෙකක් නිසා විය යුතුය. තමාටද දැන් පංඟුවක් හිමි පිස්තෝලය ගෙන ඒමට මූලික වූ සිය මිතුරන් දෙදෙනාට කෘතගුණ දැක්වීමක් වශයෙන් හා එසේ කිඊම මඟින් පිස්තෝලයේ අයිතිය තුනට බෙදී යන බව තවදුරටත් මුද්‍රා තබා තහවුරු කිරීමටත්ය.

පිස්තෝලයක් අත්පත් කර ගැනීම යනු යම් ආකාරයක බලයක් අත්පත් කර ගැනීමකි. බලය ඇති විට හා බලය නැති විට එකම මිනිසා හැසිරන්නේ දෙආකරයකට බව අපි දනිමු. ගෙදර එන විමලේ දකින්නේ බාප්පා පැමිණ ගෙදර ජනෙල් පොඩි කර ගොස් ඇති ආකාරයයි. පෙරදී තුන් හිතකින්වත් නොසිතූ ලෙස විමලේට තුවක්කුව දැන් වුවමනා වේ. සුරාජ් සිය පෙම්වතිය සමඟ සිටින විට චණ්ඩියකු වන ඇගේ අයියාගෙන් ගුටි කෑමට සිදුවේ. ඔහුද කළින් නොසිතූ ලෙස වීරකම් පා එම චණ්ඩියාගෙ නිවසට ගොස් ඔහුට පහර දෙන්නේ මේ පිස්තෝලයේ ආනුභාවයෙනි.

දෙදෙනාම කළ ගොන් කම් ගැන කම්පා වෙමින් සිටියදී සිරිතුංග ඔවුනගේ ගොන් කම ගැන නැවත වතාවක් බැණ වදියි. විමලේ සිය බාප්පා පොලීසි නොයන බව පවසයි. කුමන විරසකය තිබ්බද බාප්පාට තමා හිරේ විලංගුවේ දැමීමට වුවාමනාවක් නැති බව විමලේ දනියි. දුෂ්ටයකු ලෙස පෙනෙනා බාප්පාගේ චරිතය වුව මානවවාදී දැක්මකින් චිත්‍රපටය තුළ ප්‍රතිනිර්මාණය කෙරී ඇත.

පිස්තෝලය සැඟවීමට කියා ඉල්ලා ගන්නා සිරිතුංග එය සඟවන්නේ කොහිද? කිසිවකුට අත පෙවිය නොහැකි පහසුවෙන් සොයා ගත නොහැකි ස්ථානයකද? සිරිතුංගගේ මනසේ ඇති වංචක ධර්මතාව වඩාත් මැනවින් පිළිබිඹු කෙරෙන තැනකි මේ. ඔහු එය තබන්නේ තමාගේ ගෙයි සාලයේ පෙට්ටගම යටයි. කලින් පටන් ඔහු සතුව තිබූ කඩුවක් තබා තිබුනු තැන්හිමය. කඩුව නිරූපණය කරන්නේ බලයයි. තුවක්කුව එතැනින්ම තබන්නේ දැන් ඔහුගේ බලය වැඩි වී ඇති බව පසක් කරමිනි. ඔහු බලයට බැදෙන්නේ රාගයෙනි. ඔහු පව් කරන්නේ රහසිනි.

කුස ජාතකය ඇතුළු ඇතැම් ජාතක කතාවන්හි මෙම වංචක චෛතසික ධර්ම ගැඹුරු ලෙස පිළිබිඹු වන අයුරු මාටින් වික්‍රමසිංහයන් සිය සිංහල විචාර මඟ කෘතියෙහි පෙන්වා දී ඇත. මෙවන් වූ වංචක චෛතසික ධර්ම අප තුළද ඇතිවා විය හැකිය. අයෝනිසෝ මනසිකාරයෙන් දිවි ගෙවන අප සිත් තුළ ඇති එම චිත්ත ස්වභාවයන් අපට ප්‍රකට නොවනවා විය හැකිය. සිනමා සිත්තමක් මත එබන්දක් නිරූපණය කිරීම අතිශය අභියෝගාත්මක කටයුත්තක් බව නොකිව මනාය. සිරිතුංගට රඟන සරත් කොතළාවලගේ රංගන ප්‍රතිභාව ඒ සඳහා සපයා තිබුනේ සුළුපටු පිටිවහලක් නොවේ. හාස්‍යය රසයෙන්ද පිරි මේ චිත්‍රපටය නරඹා අවසන එහි සමුදයාර්ථය දැක අපට පහන් සංවේග උපදවාගත හැකිය. 

බුදුන් දවස සැවැත් නුවර කුඹුරේ වැඩ කරමින් උන් ගොවියාට තමනට අයිති නැති කහවණු පොදිය ලෙහා බැලීමටවත් සිතක් පහළ වන්නේ නැත. එනමුත් රජු කරුණු නොවිසාම ඔහු සොරකමකට වැරදිකරු බවට තීරණය කර මරණ  දඬුවම නියම කරයි. මරණය සඳහා ගෙනයන අතරේය ඔහුට බුදු රාජාණන් වහන්සේ "ආනන්ද, සර්පයා දුටුවාද?" යි කී වදන්හි අරුත වැටහෙන්නේ. ඒ පිහිටෙනි ඔහු දිවි ගැලවෙන්නේ.


විමල්ට, සුරාජ්ට, සිරිතුංගට, ඔබට හා මට ඒ බුදු වදන් තවමත් වැටහී ඇත්ද? වැටහී ඇත්නම් ඒ කොපමණ දුරකටද?

"ආනන්ද, සර්පයා දුටුවාද?"

-ලසන්ත වික්‍රමසිංහ
යුතුකම සංවාද කවය
www.yuthukama.com

2 comments:

  1. ඉතා අනඟි විග්‍රහයකි. මම චිත්‍රපටිය් බැලුවා සිරිතුංගගේ චරිතයේ මේ පැත්ත තේරුනේ මේක කියෙව්වහමයි. බොහොම ස්තූතියි!

    ReplyDelete
  2. ලසන්ත වික්‍රමසිංහNovember 12, 2014 at 11:53 PM

    හුඟක් විචාරකයෝ මේ චිත්‍රපයේ ප්‍රධාන චරිත තුළට එබී නොබලා ඒ අයගේ ඔළුවල තියෙන ජාතිකත්වය සමඟ තියෙන ආරෝවෙන් මේක දිහා බලලා අමන්දානන්දයට පත්වෙලා විචර ලියලා තියෙනවා දැක්කා. ඒගොල්ලො වඩාත්ම නැඹුරුවෙලා තිබ්බේ සංකේතාත්ක විග්‍රහහන්ට. එතකොට පුළුවන්නේ තමන්ගේ හිතේ තියෙන ටික දොට්ට දාන්න, නූතන ලංකාවේ අඩුපාඩු තියෙනවා තමා. කලා කෘතියකින් යථාර්ථවාදීව ඒවා පෙන්වලා දෙන් එකේ වරදක් මම දකින්නේ නෑ. නමුත් විහිළුව වෙන්නේ මේ විකල්ප් ගෝත්‍රෙ ඉන්න චණ්ඩි විචාරකයෝ ලංකාවේ මොක හරි අඩු පාඩුවක් කොහේ හරි පෙන්නපු ගම්න් ඒක බලලා පුදුම ආතල් එකක් ගන්න එක. ඒ අයගේ ඒකමානීය කියවීමට ඊට වඩා දෙයක් කරන්න බෑ. මම හිතන්නේ ඒ චිත්‍රපටයේ වැදගත්ම දේ ඒ එක කුහක පඬියෙකුටවත් දැනිලා තිබ්බේ නෑ. ඒක ගැන නම් පුදුම වෙන්න දෙයක් නෑ. මම උත්සාහ කළේ බෞද්ධ විචාර මඟක ඉදලා ඒක ගැන ලියන්න.

    ReplyDelete