අම්මේ ලබන පෝයට එනවා ගෙදර
කෙණෙහිලි කරන සුළඟට විත් හතර | වටින් |
බිමටම හැලෙන පොඩි පොඩි මල් බුරුතු | පිටින් |
මිදුලේ වෙරළු ගහ යට සුව හෙවන | යටින් |
කවුරුත් නැතිව ගල් බැංකුව හිඳී | දුකින් |
උන ලී කඩුල්ලේ ලී ටික හැර | දාලා |
පාරට වැවුන පොඩි තණකොළ | ගලවාලා |
පොල් අත්තේ රටාවට හැඩ වැඩ | දාලා |
ගෙදරම ලස්සනයි සුදු වැලි අතු | ගාලා |
දෙහි ගහ යට ලෑල්ලේ අත්තටු | සලමින් |
එක එක තාලෙනී උන් උන් හා | දොඩමින් |
ලේනුන් ගිරවු මයිනන් රොත්තක් | යහමින් |
බත් කන අයුරු සිතුවම් කර ගමි | මනසින් |
කහ රතු රෝස සුදු එක පොකුරට | පිපිලා |
බංගලි රෝස ගොන්නෙහි ඇති මල් | පිරිලා |
ලිඳ ළඟ දිය සීරාවෙ සරුවට | වැවිලා |
නිවිතිය වැලේ ඇති කොළ ලොකුවට | හැදිලා |
ඒවිද කියා නිතරම පෙර මග | බලන |
තාමත් හරි කෙට්ටු යැයි මැසිවිලි | කියන |
මට බත් බෙදන්නට හනිකට ගෙට | දුවන |
අම්මේ දකින්නට ආසයි නුඹෙ | මුහුණ |
ආවද පුතේ කියමින් හිස | අතගාන |
දාඩිය බිංදු මගෙ නළලේ | පිසදාන |
සුවපත් කරන තුන් සිත දුක් | සඟවාන |
ආදර තාත්තා නුඹ මගෙ | සමප්‍රාණ |
සමගින් කොලු කුරුට්ටන් ගම කරක් | ගසයි |
මලයා පණ්ඩිතයි ගෙදරම ඉතින් | යටයි |
අද නම් නින්ද යයි කොළඹට අනේ | යසයි |
එකටෙක කියන විට ගුටියක් දෙන්න | හිතයි |
පොඩි බත් කූරන්ට කුරුමානම | අල්ලා |
මුනිවත රකින ඉඳහිට වලිගය | හොල්ලා |
ඉන්නා සීනු හැංගීලා හොර | ගුල්ලා |
පොල් ගානකොට එනවා ඇති පොල් | ඉල්ලා |
තරගෙට සින්දු කියමින් නලියන | නටන |
පොල් කටු අරන් සද්දෙට තාලම | ගහන |
දෝණිල චූටි ලා බිම වැලි බත් | උයන |
ආසයි බලන්නට සෙල්ලම් ගෙය | හදන |
හැල්මේ දුවන ලොව හා මුහු වෙන | අතර |
පිම්මේ දුවයි සිත නම් ගෙදරට | නිතර |
ගෙව්වෙමි මසක් දිගු වුන කල්පය | විතර |
අම්මේ ලබන පෝයට එනවා | ගෙදර |
හරිම ලස්සන කවියක්
ReplyDeleteNice one
ReplyDelete